Tuesday, May 14, 2024

General line - 0115112241

පාසැල් ආරම්භයේදී සිදුකළ යුතු දෙයක් සම්බන්ධයෙන් අගමැතිගෙන් උපදෙස්




කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා ඇති පාසැල් නැවත ආරම්භකරන අවස්ථාවකදී දරුවන්ගේ රෝග සහ ගැටළු හදුනාගැනීමට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, අධ්‍යාපන බලධාරීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි.

එම සාකච්ඡාවේදී  ගුරුවරුන්ට සහ සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දිම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. පාසැල් නැවත ආරම්භ කිරීමට අදාලව එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන්ටද එහි ප්‍රමුඛතාව ලබාදියයුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එය සාර්ථක කර ගැනීම සදහා 279,000 ක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යන කාර්යමණ්ඩලය ඇතුළු ලක්ෂ 03 කට ආසන්න පිරිසකට කොරෝනා මර්දන එන්නත ලබා දිමේ වැදගත්කමද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මෙහිදී පෙන්වා දුන්නා. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ රටේ අනාගත දරු පරපුර මෙන්ම ඔවුන්ට මග පෙන්වන ගුරුවරු ආරක්ෂා කර ගැනීමට රජය සැමවිටම කටයුතු කරන බවයි. 

පාසැල් ආරම්භ කිරීමේදී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ පාසැලට කැදවීම පිළිබද වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. පාසැල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිලිබදව විශේෂ අවධානයක් යොමුකරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදළ පාර්ශවවලින් ඉල්ලීමක් ද කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ.