Friday, May 3, 2024

General line - 0115112241

අසාද් සාලි සිදු කළ ප්‍රකාශයට අදාළ මූලික විමර්ශන අවසන් - නීතිපති




බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයට අදාළ මූලික විමර්ශන අවසන් කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්  තමා එම රැදවුම් බාරයෙන් මුදාහැරීමට නියෝග කරන්නැයි ඉල්ලා අසාද් සාලි මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ කැදවු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව පවසා සිටියා .

ඒ අනුව එම විමර්ශන වලට අදාළ උදෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව පීරිස් මහතා පවසා සිටියා .

ඒ අනුව ඉදිරියේ එම සිද්ධියට අදාළව චෝදනා ගොනු කිරීමේ ඇති හැකියාව නීතිපතිවරයා විසින් තීරණය කරනු ඇති බව පීරිස් මහතා වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේවෙතත් පෙත්සම්කරු සම්බන්ධයෙන් මාවනැල්ල බුදුපිළිම කඩා විනාශ කිරීමට අදාළ විමර්ශන මෙතෙක් අවසන් කර නොමැති බව නීතිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා .

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම ජූනි මස 28 දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා .

පදනම් විරහිත චෝදනා මත  තමා අත්අඩංගුවට ගෙන රැදවුම් බාරයේ රදවා තබා ගැනීමේන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශයට පත් කරන ලෙසට අසාද් සාලි මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් සිටියි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , පොලිස්පති , රහස් පොලිස් අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා  , එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල , මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර , එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් නම් කර ඇත .

පසුගිය මාර්තු 09 වැනි දින පෙත්සම්කරු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ බවත්  එහිදී ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ කටයුතු මුස්ලිම් නීතිය අනුව සිදුවිය යුතු බවට ප්‍රකාශයක් කළ පෙත්සම්කරු පවසා සිටියි .