Wednesday, May 15, 2024

General line - 0115112241

විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරියට එරෙහි කුමන්ත්‍රණයක් හෙළි වෙයි




රට පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීම සදහා වැදගත් මෙහෙයක් ඉටුකරන කැලණිතිස්ස විදුලි බලාගාරයට අළුතින් ගෑස් ටර්බයින් 03 ක් සවිකිරීම සදහා වූ ගණුදෙනුව පිළිබද මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා. මෙම ගණුදෙනුවට අදාලව විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා කැබිනට් මණ්ඩලය ද නොමග යවා ඇති බවට චෝදනා එල්ල වුවද එවන්නක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

කැලණිතිස්ස විදුලි බලාගාරයට අළුතින් ගෑස් ටර්බයින් 03 ක් සවිකිරීම සදහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වී ඇත්තේ 2016 වසරේදීයි. එහිදී චයිනා නැෂනල් ටෙක්නිකල් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් සමාගම වෙත කොන්ත්‍රාත්තුව ලබා දී ඇති අතර 2020 ඔක්තෝබර් මාසයේදී එම කොන්ත්‍රාත්තුව අවලංගු කර නැවත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත්තේ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා විසින් ලබාදුන් වැරදි තොරතුරු නිසා බවටයි චෝදනා එල්ලවී තිබෙන්නේ.

අදාළ ව්‍යාපෘතිය සදහා රාජ්‍ය බැංකුවකින් ණය පහසුකම් ඉල්ලූ බවත් එහෙත් භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව ණය ලබාදීමට නොහැකි බව එම රාජ්‍ය බැංකුවේ ප්‍රතිචාරය වූ බවටත් ඇය එහිදී කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඇතැයි සදහන්.

එහෙත් අදාළ රාජ්‍ය බැංකුව එලෙස ණය ලබාදීම ප්‍රතික්ෂේප කර නැතැයි චෝදනාකරුවන් පවසනවා.  කෙසේවෙතත් සිදුකළ සොයාබැලීමකදී අනාවරණ වුණේ චයිනා නැෂනල් ටෙක්නිකල් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් සමාගම වෙත කොන්ත්‍රාත්තුව ලබා දෙන අවස්ථාවේදී අදාළ ව්‍යපෘතිය සදහා මුදල්, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉපැයීම්වලින් සපයා ගැනීමට සැලසුම් කර තිබූ බවයි.

ඒ අනුව 2019 ඔක්තොම්බර් 04 දිනැති ලිපියකින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රශ්ණගත රාජ්‍ය බැංකුවෙන් ණය පහසුකම් ඉල්ලා ඇති බව සහ ඊට ප්‍රතිචාර දක්වමින් ණය පහසුකම් ලබාදීමට ඇපකරයක් අවශ්‍ය බවට 2019 දෙසැම්බර් 09 දිනැති ලිපියෙන් ඔවුන් දැනුම් දී තිබෙනවා. 

එසේ තිබියදී අදාළ ව්‍යපෘතිය සදහා වූ තාක්ෂණික ඇගයීම් වාර්තාව 2020 අප්‍රේල් මාසයේදී ප්‍රසම්පාදන කමිටුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. අවශ්‍ය මුදල් වෙනුවෙන් ණය පහසුකමක් ලබාගැනීමට රාජ්‍ය බැංකුවකින් ඉල්ලීමක් කළ බවත් එහෙත් ඇපකරයක් නොමැතිව ණය ලබාදීමට නොහැකි බවට බැංකුව ප්‍රකාශ කළ බවත් විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරීවරයා එහිදී නැවත සිහිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

විදුලිබල මණ්ඩලයේ අනුමත අයවැයෙන් ද අදාළ ව්‍යාපෘතිය සදහා මුදල් වෙන්කර නොමැති බව එහිදී ප්‍රකාශ වී තිබෙනවා. කෙසේ වෙතත් කැලණිතිස්ස විදුලි බලාගාරයට අළුතින් ගෑස් ටර්බයින් 03 ක් සවිකිරීම සදහා අදාළ ව්‍යපෘතිය 2019 දී අවසන් කළ යුතුව තිබී ප්‍රමාද වූ එකක් බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ වී ඇත්තේ. මෙම කරුණූ ද සැලකිල්ලට ගෙන 2020 ඔක්තොම්බර් 05 දින කැබිනට් සංදේශයක් විදුලිබල අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අදාල ව්‍යපෘතිය ඉදිරියට ගෙනයාම සදහා විකල්ප දෙකක් ද පෙන්වා දෙමින්. පළමු විකල්පය ලෙස යෝජනා කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයට අපේක්ෂිත ණය පහසුකම ලබාගැනීමට භාණ්ඩාගාර ඇපකරයක් ලබාදෙන්නැයි භාණ්ඩාගාරය වෙත උපදෙස් දීමයි. එසේ කළ නොහැකි නම් පමණක් සැපයුම්කරුවන්ගේ ණය යෝජනා ක්‍රමය මත ව්‍යාපෘතියට නැවත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම තවත් විකල්පයක්.

මේ පිළිබද සිය නිරීක්ෂණ 2020.10.16 දින මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර ඉල්ලා සිටින ණය සදහා භාණ්ඩාගාර ඇපකරයක් ලබාදීමට නොහැකි බව එමගින් පෙන්වා දී තිබෙනවා. මුල් කොන්ත්‍රාත්තුව අවලංගු කර  සැපයුම්කරුවන්ගේ ණය යෝජනා ක්‍රමය මත නැවත ප්‍රසම්පදාන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ද ඒ අනුවයි.

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, චෝදනාවට ලක්වන පරිදි සිතා මතා කැබිනට් මණ්ඩලය නොමග යැවීමක් හෝ සිය පෞද්ගලික අපේක්ෂාවක් වෙනුවෙන් මුල් කොන්ත්‍රාත්තුව අවලංගු කරවීමට ක්‍රියා  කිරීමක් කර නොමැති බව ඒ අනුව පෙනී ගොස් තිබෙනවා. ඇය කටයුතු කර ඇත්තේ පවතින දත්ත මත සත්භාවයෙන් බවයි නිරීක්‍ෂණය වී ඇත්තේ. චෝදනාවක් ඇය මත පටවා වෙනත් කිසිවෙකු හෝ වැරදි වසාගැනීමට හෝ රට නොමග යැවීමට උත්සහ කරන්නේ දැයි සොයා බැලීම බලධාරීන්ගේ වගකීමක් බව නෙත් නිවුස් සිහි කැදවනවා.