Wednesday, May 8, 2024

General line - 0115112241

සාගතයකට ළංවූ උතුරු කොරියාව අමෙරිකාවට අඬ ගසයි




අමෙරිකාව සමග සාකච්ඡාවක් සඳහා සූදානම් වීමට අවශ්‍ය බව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පවසනවා. එහිදී සිය රටේ ගෞරව ආරක්ෂා කර ගැනීම හා සාමකාමී වාතාවරණයක් ගොඩනැගීම එහි මූලික අරමුණ බවයි උතුරු කොරියානු නායකයා පෙන්වා දෙන්නේ. ජෝ බයිඩ්න් අමෙරිකාවේ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව උතුරු කොරියාව විසින් සාකච්ඡාවක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි. කෙසේවෙතත්, උතුරු කොරියානු නායකයාගේ යෝජනාව සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් දක්වා ඇත්තේ කුමන ප්‍රතිචාරයක් ද යන්න මෙතෙක් අනාවරණ කර නැහැ.

ජෝ බයිඩ්න් මීට පෙර අවස්ථා කිහිපයකදීම උතුරු කොරියාවේ සහ එහි නායක කිම් ජොන් අන්ගේ ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ විවේචනය කර තිබුණා. එහිදී ඔහු කිම් ජොන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැරූ උත්සහයන් ද දෝෂදර්ශනයට ලක් කර තිබූ බවයි ඇතැම් විදෙස් වාර්තා පැවසුවේ. 

කෙසේවෙතත් උතුරු කොරියාව මෙලෙස සාකච්ඡා වටයක් සඳහා අමෙරිකාවට ආරාධනා කරන්නේ ඔවුන් දරුණු සාගත තත්ත්වයක අවදානමකට මුහුණ පා ඇති පසුබිමක් තුළයි. සිය රට මේවනවිට ආහාර අර්බුදයක සිටින බව ද උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඊයේ ප්‍රකාශ කර තිබුණා.