Tuesday, April 30, 2024

General line - 0115112241

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට

ටිකේ ජී කපිල




ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද අලුයම දිවයිනට රැගෙන ආවා. ඒ, චීනයේ බිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින්. ඒ අනුව මේ වනවිට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 41 ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා. මෙම එන්නත් ප්‍රමාණය අතරින් මාත්‍රා ලක්ෂ 11 ක් චීන රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දී ඇති අතර , ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 30 ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් මෙරටට ගෙන්වා ගැනීම සදහා මේ වනවිට ඖෂධ නීතිගත සංස්ථාව විසින් මුදල් ගෙවා ඇති බවයි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක සඳහන් කළේ. එම එන්නත් තොගයත් මෙම මාසය තුළ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. 

මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ 02 ක් මෙම මාසය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. දකුණු ආසියානු රටක් විසින් මුල් වරට මුදල් ගෙවා ලබා ගන්නා පළමු ෆයසිර් එන්නත් මාත්‍රා තොගයද මෙයයි. ඒ සදහා මේ වනවිට එම එන්නත් නිෂ්පාදන සමාගම වෙත අවශ්‍ය මුදල් ගෙවීම් කටයුතු සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක සඳහන් කළේ. එම ෆයිසර් එන්නත් තොගය හෙට සහ  ලබන 12, 19, 26 දිනවලදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

මේ වන විට මෙරට පුද්ගලයින් 29 ලක්ෂ 16,330 දෙනෙකුට කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා.  ඉන් පුද්ගලයින් 12 ලක්ෂ 6,499 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබා දී ඇති බවයි  වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ එන්නත්කරණ වැඩපිළිවෙල තව දුරටත් ක්‍රියාත්මකයි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි.