Wednesday, May 8, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ දැවැන්ත මානුෂීය අර්බුදය මැද තීරණාත්මක සාම සාකච්ඡාවක් ඇර⁣ඹේ




ඇෆ්ගනිස්තානයේ දැවැන්ත මානුෂීය අර්බුදයක් මතුව ඇති බවත් මිලියන ගණනාවක ජනතාවට වහාම සහන අවශ්‍යව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිලිබද ඒජන්සිය සදහන් කර තිබෙනවා.

 මේ වසර තුළ එරට  අභ්‍යන්තර අවතැන්වූවන් සංඛ්‍යාව පමණක් දෙලක්ෂ හැත්තෑදහස දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව ඇෆ්ගනිස්තානයේ  මුලු සරණාගතයන් සංඛ්‍යාව  මිලියන 3.5ක් ඉක්මවා ගොස් ඇතැයි සදහන්.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද ඒජන්සිය සදහන් කළේ සිවිල් වැසියන් විශාල පිරිසක් ගැටුම්වලට මැදිවී, මියයාමේ සහ තුවාල ලැබීමේ සිදුවීම්ද වාර්තා වන බවයි.

ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව කෝවිඩි වසංගතය ,නියගය සහ දිළිදුකම හේතුවෙන් තවතවත් අසරණ වී ඇතැයි ද එරට වාර්තා සදහන් කරනවා.

මේ තත්ත්වය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ සරණාගතයන්ට අවශ්‍ය සහන සපයන්නට එක්වන්නැයි  එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධාන ලෝක ප්‍රජාවගෙන්  ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

මේ අතර පවතින ගැටුම් නැවැත්වීම පිළිබද ඇෆ්ගනිස්තාන රජය සහ තලේබාන් සංවිධානය අතර වන සාකච්ඡාවක් කටාර්හි දෝහා අගනුවරදී පවත්වා තිබෙනවා.

ඊයේ දිනය පුරාම පැවති සාම සාකච්ඡා අද දිනයේද පැවැත්වෙන බවත් අද පස්වරැව වන විට එහි අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමට හැකිවනු ඇති බවත්  විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

දෙපාර්ශවයම සාකච්ඡාවලදී සාමයේ අවශ්‍යතාව අවධාරණය කරමින් සාමය සදහා එකම මග සාකච්ඡා පැවැත්වීම බව සදහන් කළත්, භූමියේ හැසිරීම සහ ක්‍රියාකාරකම් ඊට සපුරා වෙනස් බව අල්ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.