Friday, May 10, 2024

General line - 0115112241

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක් දිවයිනට

ටී කේ ජී කපිල




තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ සමස්ථ සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 91 ක් දක්වා ඉහළ යන බවයි. 

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත්, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් මෙම එන්නත් තොගය අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින්. මෙම එන්නත් තොගයෙන් පළමු එන්නත් මාත්‍රා ලක්ෂ 10 ප්‍රමාණය, අද අලුයම පළමුව මෙරටට රැගෙන ආවා. මෙම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 17,129 ක් බරැති ඇසුරුම් 57 ක මෙම එන්නත් තොගය අසුරා තිබූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවුසවේ. 

මීට අමතරව කිලෝ ග්‍රෑම් 386 ක් බරැති ඔක්සිජන් ඇසුරුම් 18 ක් ද එන්නත් තොගය සමග මෙරටට රැගෙනවිත් තිබෙනවා. ඉන් පසුව මෙම එන්නත් තොගයේ දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක ප්‍රමාණය, කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියා. මෙම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 17,141 ක් බරැති  ඇසුරුම් 57 ක මෙම එන්නත් තොගයක් අසුරා තිබුණා. 


මෙම එන්නත් තොගය ගුවන් යානා වලින් ගොඩ බෑමෙන් පසුව, කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. ඉන්පසුව මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට පියවර ගැනුණා.   

අද දිනයේ රැගෙන එන එන්නත් තොගයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටත්, එන්නත් මාත්‍රා දෙලක්ෂ 75,000ක් ගාල්ල දිස්ත්‍රික්කයකටත් බෙදා දීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මාතර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 2 බැගින් ද පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ද ලබාදීමට නියමිතයි. 

එම එන්නත් තොගයෙන් එන්නත් මාත්‍රා එක් ලක්ෂ 25,000ක් හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබාදීමට තීරණය කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළා.