Saturday, May 18, 2024

General line - 0115112241

ළමා අසභ්‍ය දර්ශන 18,000 ක් දින 40 ක් තුළ මෙරටින් අන්තර්ජාලයට




ජූනි මස 17 වනදා සිට ඉකුත් 27 වනදා දක්වා කාලය තුළ ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන 18,000 කට අධික ප්‍රමාණයක් අන්තර්ජාලයට එක්වී ඇතැයි පොලීසිය සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මෙරට තුළ පිහිටි පරිඝණකවලින් මෙම දර්ශන අන්තර්ජාලයට එක්කර ඇති බවයි.

මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් මේවනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටි දැරියක් ගිනි ඇවිලීමෙන් මියයාමත්, ඇය අපයෝජනයට ලක්ව සිටි බවට අනාවරණ වීමත් සමගයි. ඒ සමගම ළමා අපයෝජන සම්බන්ධයෙන් සිද්ධීන් රැසක් මෙරටින් අනාවරණ වෙමින් තිබෙනවා.

එවැනි තවත් සිදුවීමක් අද වාර්තා වූයේ පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයෙන්.

එම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කරන චීවරධාරියෙකු එම පාසැලේම බාලවයස්කාර සිසුන් අපයෝජනය කර ඇති බවටයි පොලීසියට පැමිණිලි කර ඇත්තේ. නෙත් නිවුස් කළ විමසීමකදී හිගුරක්ගොඩ පොලීසිය පැවසුවේ ඉකුත් 26 වනදා ලද එවැනි පැමිණිල්ලක් සම්බන්ධයෙන් මේවනවිටත් විමර්ශනයක් සිදුකරමින් ඇති බවයි. මෙහිදී අපයෝජනයට ලක් කර ඇත්තේ වයස අවුරුදු 15 පාසැල් සිසුවෙක්.

එම සිදුවීම ඉකුත් පෙබරවාරි මාසයේදී සිදුව ඇති නමුත් එම දරුවා ඒ පිළිබඳ මෙතෙක් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ නැහැ.

එහෙත් ඉෂාලිනි දැරියගේ සිද්ධියත් සමග සමාජයේ මතුවූ කතාබහ සැලකිල්ලට ගනිමින් එම දරුවා තමන් මුහුණ පෑ සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන් දැනුවත් කර තිබෙනවා. අදාළ චීවරධාරියා එම පාසැලේම තවත් බාලවයස්කාර සිසුවෙකුට දුරකථනයෙන් අමතා ලිංගික අපයෝජනයකට පොළඹවා ගෙන ඇති බවට තවත් පැමිණිල්ලක් ඉකුත් 16 වනදා ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලෙන් පසු අදාළ චීවරධාරියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පාසැල් අධ්‍යාපන කටයුතු සිදුනොවන පසුබිමක දරුවන් මේවනවිට වැඩි වශයෙන් අන්තර්ජාලය තුළ කාලය ගත කරනවා.

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ද ඊට එක් ප්‍රධාන හේතුවක්. එහෙත් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ දරුවන් වැඩි වශයෙන් අන්තර්ජාලය තුළ සිටීමෙන් ඔවුන් වෙනත් වැරදි ක්‍රියාවන්ට ඇබ්බැහිවීමට මෙන්ම වැරදි ක්‍රියාවන්ට පොළඹවා ගැනීමට ද රුකුලක් වන බවයි. මේ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය සායනික මනෝ විද්‍යාඥ ටීනා සොලමන්ස්.