Saturday, May 18, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථාන




කොවැක්ස් පහසුකම යටතේ ජපානයෙන් මෙරටට ප්‍රදානය කෙරුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත් අද සිට මෙරට ජනතාවට ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඊයේ දිනයේ එලෙස කොරෝනා මර්දන එන්නත් මාත්‍රා හත් ලක්ෂ 28,460ක් මෙරටට ලැබී තිබුණා.

ඒ අනුව එම එන්නත් මාත්‍රා ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නියමිත පුද්ගලයින්ට පළමුවෙන් ලබා දීමට නියමිතයි.

ඒ අනුව බස්නාහිර පළාතට අයත් කොළඹ දිස්ත්‍රික්කයේ විහාර මහා දේවී උද්‍යානය, නාරාහේන්පිට යුද හමුදා රෝහල, වේරහැර යුද හමුදා කඳවුර, පනාගොඩ බෝධිරාජා රාමයේදී එන්නත ලබා දීමේ කටයුතු සිදු කෙරෙනවා. ඊට අමතරව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩංගණය හා සුගතදාස ගෘහස්ථ කි්‍රීඩාංගණයේදීද අද සිට ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. සඳුදා, අගහරුවාද සහ බදාදා දිනවල බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී එම එන්නත ලබා ගත හැකියි.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයට අයත් මොරටුව, අතුරුගිරිය, නවගමුව, පිළියන්දල, වෑතර, අවිස්සාවේල්ල, හෝමාගම සහ කොස්ගම යන රෝහල්වලදීද අද සිට ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබා දෙනවා. 

ඊට අමතරව තලංගම, පාදුක්ක, අයි ඩී එච්, මුල්ලේරියාව සහ කළුබෝවිල යන රෝහල්වලදීද එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.  

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18කදීද එම එන්නත ලබා දෙනු ඇති. එමෙන්ම කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ස්ථාන රැසකදී ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව එහි දෙවන මාත්‍රාව රාගම, ගම්පහ, වතුපිටිවවල, බියගම, දිවුලපිටිය, ජාඇල, දොම්පේ, රදාවාන, මීගමුව, කිරිබත්ගොඩ, උඩුපිල, මාවතුහිරිපිටිය සහ මිනුවන්ගොඩ යන රෝහල්වලදී ලබා ගත හැකිවනවා. මිනුවන්ගොඩ, මීරිගම, සීදුව විජය කුමාරතුංග රෝහල සහ පමුණුගම යන රෝහල්වලින්ද ඇස්ට්‍රා සෙනිකා දෙවැනි එන්නත ලබා ගත හැකියි. කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 05කදී ඇස්ට්‍රා සෙනිකා දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දෙනවා.

පිඹුර ප්‍රාථමික විද්‍යාලය, තලගල මංගලාරාම විහාරයේද එන්නත ලබා දීමේ කටයුතු සිදු කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.  

එම එන්නත ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාව ජාතික හැදුනුම්පත සහ එන්නත් කිරීමේ තොරතුරු ඇතුළත් කාඩ්පත අනිවාර්යෙන් රැගෙන ආ යුතු බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.