Wednesday, May 15, 2024

General line - 0115112241

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීම ඇරඹේ - විහාර මහා දේවි උද්‍යානයේ පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයක්




ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද බස්නාහිර පළාත තුළ ආරම්භ කෙරුණා. මෙලෙස දෙවන මාත්‍රාව ලෙස ලබා දෙන්නේ කොවැක්ස් පහසුකම යටතේ ජපානයෙන් මෙරටට ප්‍රදානය කෙරුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ 28,460ක්.

ඒ අනුව එම එන්නත් මාත්‍රා, ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නියමිත පුද්ගලයින්ට මෙලෙස පළමුවෙන් ලබා දෙනවා. ඒ සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයක් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ස්ථාපිත කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ සිටම කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල දිගු පෝලිම් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. මෙම එන්නත්කරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනද කොළඹ විහාර මහා දේවි උද්‍යානය පරිශ්‍රය වෙත අද පෙරවරුවේ පැමිණ සිටියා.

එන්නත ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාව ජාතික හැදුනුම්පත සහ එන්නත් කිරීමේ තොරතුරු ඇතුළත් කාඩ්පත අනිවාර්යෙන් රැගෙන ආ යුතු වනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ තෝරා ගත් ස්ථාන කිහිපයකදීද ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවන මාත්‍රාව ලබා දීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. 

කෙසේවෙතත් ප්‍රකාශයට පත් කළ එම ස්ථාන කිහිපයක එම එන්නත්කරණ කටයුතු සිදු නොවන බවයි එන්නත ලබා ගැනීමට පැමිණි ජනතාව සඳහන් කළේ. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික් ලේකම්වරු සඳහන් කළේ සිය දිස්ත්‍රික්කවල එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදු කෙරෙන බවයි.