Wednesday, May 15, 2024

General line - 0115112241

අද විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව - ගුරු සංගම් අනතුරු අඟවයි




සිය ඉල්ලීම්වලට අද රැස්වන කැබිනට් මණ්ඩලයේදී විසදුමක් නොලැබුනොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති සංගම් පවසනවා. අද රැස්වන කැබිනට් මණ්ඩලයේදී ඒ සදහා විසදුම් නොලැබුණහොත් අනිද්දා කොළඹට රථ පෙළපාලියකින් පැමිණ සිය විරෝධතාවය පළ කරන බවයි ගුරු විදුහල්පති සංගම් සදහන් කළේ.

ඉකුත් සදුදා දිනයේ ගුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. එහිදී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ගුරුවරුන්ගේ ගැටලුව විසදීම කාලෝචිත බවයි.

කෙසේවෙතතත් රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම අවස්ථාවේ ගුරුවරුන්ගේ වැටුප ඉහළ දැමීමට අපහසු බවද මෙහිදී ප්‍රකාශ වී තිබෙනවා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු වර්ජනයේ නිරත ගුරු සහ විදුහල්පති සංගම් සමග සාකච්ඡා කර කරුණු පහදන ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී දැනුම් දී තිබුණා.

ඒ අනුව අරලියගහ මන්දිරයේ සහ වෙළද අමාත්‍යාංශයේදී ඔවුන් සමග සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වුණා. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍යවරයා අද දිනයේ කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලිං නෙත් නිවුස් වෙත සදහන් කළේ.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී අදට දින 22 ක් ගත වනවා.