Sunday, May 19, 2024

General line - 0115112241

ප්‍රධාන රෝහල් 06 ක ධාරිතාව උපරිමයත් ඉක්මවා යයි




මේවනවිට මෙරට ප්‍රධාන රෝහල් 06 ක කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙන් කර තිබූ ඇඳන් ධාරිතාව ඉක්මවා ආසාදිතයින් ප්‍රතිකාර ලබන බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී තහවුරු වුණා.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, රාගම රෝහල, රත්නපුර රෝහල සහ මහනුවර ජාතික රෝහල එම රෝහල් වනවා. තවත් ප්‍රාදේශීය රෝහල් කිහිපයකම මෙම තත්ත්වය දැකගත හැකියි. දික්ඔය මූලික රෝහල ඊට එක් උදාහරණයක්.

මේ අතරින් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල, රාගම රෝහල සහ රත්නපුර රෝහල කොවිඩ් රෝහල් ලෙස නම් කර නොමැති රෝහල්වීම ද කැපී පෙනෙනවා.

කළුබෝවිල රෝහලේ කොරෝනා ආසාදිතයින්ට වෙන් කර ඇති ඇඳන් 91 ඉක්මවා මේවනවිට ආසාදිතයින් 286 දෙනෙකුට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබනවා. ධාරිතාව ඉක්මවා සිටින 195 කට ආසන්න වූ ආසාදිතයින් රෝහලේ එලිමහන් ස්ථානවල, කොරිඩෝවල සහ ඇඳන් යට ප්‍රතිකාර ලබන තත්ත්වයක් මේවනවිට මතුව තිබෙනවා.

කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයින්ට ඇඳන් 70 ක් වෙන්කර තිබුණ ද මේවනවිට එහි ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 210 කට අධිකයි. ඒ අනුව ධාරිතාව ඉක්මවා ආසාදිතයින් 140 කට ආසන්න පිරිසක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මහනුවර රෝහලේ කොරෝනා ආසාදිතයින්ට වෙන් කර ඇති ඇඳන් සංඛ්‍යාව 108 ක්. එහෙත් මේවනවිට ආසාදිතයින් 188 දෙනෙකුට ආසන්න පිරිසක් එහි ප්‍රතිකාර ලබන්නේ 80 ඉක්මවූ ධාරිතාව ඉක්මවා ගිය ආසාදිතයින් පිරිසක් ද සමගයි.

රාගම රෝහලේ ඇඳන් 240 ක් මීට පෙර කොරෝනා ආසාදිතයින්ට වෙන් කර තිබුණද, 75 ක් වූ අමතර රෝගීන් සංඛ්‍යාවක් ද සමග මේවනවිට එහි ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 311 කට ආසන්නයි.

කොළඹ ජාතික රෝහලේ කොරෝනා ආසාදිතයින්ට ඇඳන් 549 ක් වෙන් කර තිබුණද, මේවනවිට රෝගීන් 600 දෙනෙකුට ආසන්න පිරිසක් එහි ප්‍රතිකාර ලබනවා. ඒ අනුව ධාරිතාව ඉක්මවා සිටින ආසාදිතයින් සංඛ්‍යාව 51 කට ආසන්නයි.  

රත්නපුර රෝහලේ කොරෝනා ආසාදිතයින්ට ඇඳන් 61 ක් වෙන් කර ඇති නමුත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 106 කට ආසන්නයි. රෝහලේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අතිරික්තව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 45 කට ආසන්නයි.
 
මේ අතර නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ හැටන් දික්ඔය මූලික රෝහලේ කොරෝනා වාට්ටුවල ඇඳන් ධාරිතාව ද ඉක්මවා ආසාදිතයින් ප්‍රතිකාර ලබන බවයි.

ආසාදිතයින් වාර්තා වීම මෙන්ම දෛනිකව ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ද ඉහළ යමින් ඇති බව ඔහු පැවසුවා. දික්ඔය මූලික රෝහලේ කොරෝනා ආසාදිතයින්ට වෙන් කර ඇති ඇඳන් සංඛ්‍යාව 50 ක්.