Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනා මෘත දේහ ගොඩගැසීමට හේතු වූ කරුණක් ගැන අනාවරණයක් - ගැටළුව විසදන්න නීතිපතිගේත් සහාය පතයි




කලක් තිස්සේ කොරෝනා නොවන හේතුන් නිසා මිය ගිය, ඥාතීන් විසින් හදුනා නොගත් මෘත දේහ, ආදාහනය හෝ භූමදානය කිරීම සදහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.

එම මෘතදේහවල ඩී එන් ඒ පරීක්ෂාවන් සඳහා අවශ්‍ය සාම්පල් ලබා ගැනීමට නීතිපතිවරයාගෙන් උපදෙස් පතා ඇති බවයි  ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.

කළුබෝවිල රෝහලේද ඉකුත්දා වැඩි වශයෙන් ගොඩ ගැසී තිබුණේ ඥාතීන් විසින් හදුනා නොගත් මෘත දේහ බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කළේ. එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ඔහු කියාසිටියේ කළුබෝවිල රෝහලේ ශීතාගාර 37න් 20ක්ම පිරී තිබුණේ කලක් තිස්සේ කොරෝනා නොවන හේතු නිසා මිය ගිය ඥාතීන් විසින් හදුනා නොගත් මෘත දේහවලින් බවයි.

මෙන්ම කොරෝනා රෝගීන් වැඩි වීම හේතුවෙන් කළුබෝවිල රෝහල් පරිශ්‍රයේ රෝගීන් සිටින ආකාරයක් දක්නට ලැබුණා. කෙසේවෙතත් නව වාට්ටු දෙකක් ආරම්භ කර සියලු රෝගීන්ට ඇදන් ලබා දීමට කළුබෝවිල රෝහලේ පාලන අධිකාරිය මේ වනවිට කටයුතු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසුවේ.

මේ අතර රෝහල්වල මෘත ශරීරාගාරවල පවතින තදබදය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා සිය ෆේසබුක් ගිණුම හරහා සටහනක් පළ කර තිබුණා. එහි දැක්වෙන්නේ මෘත ශරීරාගාරවල අධි ශීතකරණ කුටි බොහොමයක් ක්‍රියා විරහිතව ඇති බවයි. ඒවා අලුත් වැඩියා කිරීමෙන් තවදුරටත් එහි ඉඩ සලසා ගත හැකි බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා පෙන්වා දෙන්නේ.

කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයන් සඳහා අවම වශයෙන් පැය 24ක් තුළ පී සි ආර් පරීක්ෂාව සිදු කරන්නේ නම් ඔවුන්ගේ පවුල්වලටද පහසුවක් වනු ඇති බවද ඇය සිය ෆේස්බුක් සටහනින් දක්වා තිබෙනවා.

මේ හරහා මෘත ශරීරාගාරවල පවතින තදබදය අවම කර ගැනිමට හැකි වනු ඇති බවද ඇය සදහන් කළා. රෝහල් මෘත ශරීරාගාර බොහොමයක් පිරී ඇත්තේ හදුනා නොගත් මෘතදේහවලින් බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා වැඩිදුරටත් සදහන් කළේ. 

මේ අතර පිඹුර රෝහලේ ඉදිකෙරුණු තාවකාලික කොරෝනා වාට්ටු සංකීර්ණය සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජගත වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා. එහි සැබෑ තත්ත්වය පිළිබද මන්ත්‍රීවරයා මෙලෙස කරුණු දැක්වූවා.