Sunday, May 19, 2024

General line - 0115112241

ඉදිරි මාසය තීරණාත්මකයි - සෞඛ්‍ය ක්‍රමවේද ගැන යළිත් සිහිකැඳවීම්




කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමග ඉදිරි මාසය තීරණාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. පවතින තත්ත්වය හමුවේ ජනතාව සිය සෞඛ්‍යාරක්‍ෂාව පිළිබද පෙරට වඩා අවධානයෙන් කටයුතු කළයුතු බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

රට තුළ කොරෝනා වසංගතය යළි හිස ඔසවමින් ඇති පසුබිමක රාත්‍රී සමාජ ශාලා සහ කැසිනෝ මධ්‍යස්ථාන තවදුරටත් විවෘත කර තැබීම සම්බන්ධයෙන් විරෝධතා එල්ලවෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සදහන් කළේ එම මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් නිසි සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව එම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට කටයුතු කළයුතු බවයි.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,961 දෙනෙකු වාර්තා වුණා. ඉකුත් සෙනසුරාදා සිදුවූ කොරෝනා මරණ 94 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 94 න් 69 දෙනෙකුම පිරිමි පුද්ගලයින්. ඒ අතර  වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයෙකු ද වනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ මරණ 94න් මරණ 71 ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව සඳහන් කළේ. 

මේ අතර ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ නිෂ්පාදිත ” ෆයිසර් ” එන්නත් තවත් මාත්‍රා  78,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා. ඒ, කටාර් රාජ්‍යයේ දෝහා සිට , කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.