Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්දියාවේ නගර රැසක් මුහුදු ජලයෙන් යටවීමේ අවදානමක




ඉන්දියාවේ මුම්බායි, චෙන්නායි ඇතුලු තවත් නගර කිහිපයක් ඉදිරියේදී ජලයෙන් යටවිය හැකි බවට දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලය අනතුරු අඟවා තිබෙනවා.

චෙන්නායි, කෝචි, කොල්කටා, මුම්බායි, සූරත් සහ විශාඛාපට්නම් යන වරායන් දිනෙන් දින අවදානමකට ලක්වෙමින් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඉන්දියාව දැන් සිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි එම ආයතනය පෙන්වාදී ඇත්තේ.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලය සිය නවතම වාර්තාවක් මඟින් ඉන්දියාව ඇතුලු තවත් රටවල් කිහිපයකට අනතුරු අඟවා ඇති අතර එම වාර්තාව පෙන්වාදී ඇත්තේ 21 වන සියවස පුරා මුහුදු ජල මට්ටම අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් වෙරළාසන්න ඟංවතුර සහ මුහුදු ඛාදනයන් නිරන්තරයෙන් වාර්තා විය හැකි බවයි.

මීට පෙර වසර 100 කට වරක් සිදුවූ පාරිසරික වෙනස්කම් මෙම සියවස අවසානයේ සෑම වසරකම සිදුවිය හැකි බවටද එම වාර්තාව මඟින් පෙන්වාදී තිබෙනවා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාම මීට ප්‍රධානතම හේතුව බවයි එමඟින් වැඩි දුරටත් පෙන්වාදී ඇත්තේ.