Thursday, May 9, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර වසා දමයි




ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේයි.

ඒ අනුව එරට වේලාවෙන් අද පස්වරු 5 සිට සතියක කාලයකට බලපැවැත්වෙන පරිදි කැන්බරා නගරය වසා දැමෙනු ඇති.

එහි ප්‍රතිපලයක් ලෙස ලක්ෂ 04 ක පමණ ජනතාවට සිය නිවෙස් තුලට වී සිටීමට සිදුවනවා.

කැන්බරා වැසියන් හට සිය නිවෙස්වලින් පිටතට යෑමට අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණයි.

නගරය වසා දැමීමේ සූදානමත් සමග කැන්බරා නුවර සියලු සුපිරි වෙළඳසැල් පාරිභෝගිකයින්ගෙන් පිරී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඕස්ට්‍රේලියානු බලධාරීන් මෙලෙස අගනුවර වසා දමන්නේ කොරෝනා වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු පමණක් කැන්බරා නගරයෙන් හඳුනා ගැනීම හමුවේයි.

විදෙස් වාර්තාවන්ට අනුව කැන්බරා නගරයෙන් මෙලෙස කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇත්තේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයක්.

අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න හඳුනා ගැනීමට බලධාරීන් අපොහොසත් වී තිබෙනවා.

ඒ හමුවේයි, නගරය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත්තේ.

ඔස්ටේ්‍රලියාව මේවනවිට සිටින්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අභියෝගයකට මැදිවයි.

ඒ හමුවේ එරට විශාලතම නගර 02 ක් වන සිඩ්නි හා මෙල්බර්න් නගර මේවනවිටත් වසා දමා අවසන්. ඒ, දැඩි රෙගුලාසි යටතේයි.