Friday, May 3, 2024

General line - 0115112241

මිල වැඩි කළත් ලාෆ් ගෑස් වෙළඳපලට ඒම ප්‍රමාද වෙයි




පවතින ගෑස් අර්බුදය විසඳීම සඳහා ලාෆ් ගෑස් මිල වැඩිකිරිමට රජය අවසර ලබා දුන්න ද වෙළඳපලට ලාෆ් ගෑස් පැමිණීම තවත් ප්‍රමාද වන තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, ලාෆ් සමාගමට ගෑස් ආනයනයට සැලකිය යුතු කාලයක් ගතවීම හේතුවෙන්. නෙත් නිවුස් කළ විමසීමකදී ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය පැවසුවේ ලාෆ් ගෑස් සැපයුම සතියක් තුළ යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි. 

දින හතරක් හෝ පහක් තුළ ගෑස් සැපයුම යථා තත්වයට පත්කිරීමට උත්සහ කරන බවත්, උපරිම සතියක පමණ කාලයක් ගතවිය හැකි බවත්, ඔහු කියා සිටියා. ඒ අනුව ලාෆ් සමාගමට බැංකුවලින් ණයකර නිකුත් කිරීම අත්හිටවූ ප්‍රශ්නය විසඳාගත හැකි වනු ඇති බවයි සභාපතිවරයා පැවසුවේ. 

කෙසේවෙතත්, නෙත් එෆ් එම් රේඩියෝව සමග අදහස් දක්වමින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ ඉල්ලීම් කළ පරිදි රුපියල් 500 කින් පමණ ගෑස් මිල වැඩි කළානම් වෙළඳපලේ ගෑස් අර්බුදයක් ඇති නොවන බවයි. 

කෙසේවෙතත්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ රජයට වුවද දිගින් දිගටම සහනාධාර ලබාදීමට නොහැකි වීමේ තත්ත්වයක් ඉදිරියේදී මතුවිය හැකි බවයි. 

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් වැඩි කිරීමටයි පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ අනුමැතිය ලබා දුන්නේ. ඒ අනුව ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,856 ක්. කිලෝ ග්‍රෑම් 12.5, ලිට්‍රෝ ගෑස් පෙර මිලටම අලෙවි කරනු ඇති.