Friday, May 3, 2024

General line - 0115112241

මාස 05 කින් කොරෝනා මරණ 30,000 ක් - විශේෂඥ වාර්තාවක් හෙළි කරයි




මේවනවිට ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි අනුමානයන් පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ වාර්තා 02 ක් නිකුත් වී තිබෙනවා. මෙරට ප්‍රධාන පෙළේ වෛද්‍ය විශේෂඥයින් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එක් වාර්තාවක් සකස් කර ඇත්තේ ඔස්ටේ්‍රලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධවයි.

එම විශේෂඥ වෛද්‍යවරුන් අතර වෛද්‍ය පාලිත අබේකෝන්, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය මලික් පීරිස්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ වෛද්‍ය පබා පලිහවඩන ද වනවා. 

ඔවුන්ගේ වාර්තාව අනුමානයන් 02 ක් මත පදනම්ව සකස් කර තිබෙනවා. පළමු අනුමානයට අනුව වත්මන් තත්ත්වය තවදුරටත් පැවතුනහොත්, සැප්තැම්බර් මස මැද භාගය වනවිට මෙරට දෛනික ආසාදිතයින් 6,000 ක් දක්වා ඉහළ යා හැකියි. ඒ අනුව ඔක්තෝම්බර් මුල වනවිට දෛනික මරණ 220 ඉක්මවා යනු ඇති. දැඩි සත්කාර ඇතුළත් වීම් උපරිමයට ලගා වෙමින් 275 ක් දක්වා වැඩිවනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

මෙම තත්ත්වය පැවතුන හොත් 2022 ජනවාරි වනවිට මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 30,000 කට ආසන්න විය හැකි බව එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායමේ පුරෝකථනයයි. 

ඉකුත් මැයි සහ ජූනි යන මාසවල පැවැති සංචරණ සීමා සති 04 කට ක්‍රියාත්මක කළ හොත් සිදුවිය හැකි තත්ත්වය ඔවුන්ගේ දෙවන පුරෝකථනය ලෙස දක්වා තිබෙනවා.

එසේ කළහොත්, දෛනික ආසාදිතයින් 1000 සීමාවේ තබා ගැනීමටත්, මරණ 25 සීමාවේ තබා ගැනීමටත් හැකි වනු ඇති. එසේවුවහොත් 2022 ජනවාරි වනවිට මෙරටින් කොරෝනා මරණ 18,000 ක් පමණ වාර්තා වනු ඇති බවයි විශේෂඥ වෛද්‍යවරුන් සිය වාර්තාව මගින් දක්වා ඇත්තේ. 

මේවනවිට රටේ පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාව තුළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට ප්‍රධාන නිර්දේශ 05 ක් ඉදිරිපත් කර තිබෙනවා. දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීම හා කෙටි කාලයකට හෝ ඇඳිරි නීතිය පැනවීම ඒ අතරින් ප්‍රධානයි. සියලු මහජන උත්සව සති 03 කට අවලංගු කිරීමට හෝ දැඩි සීමාවන්ට යටත් කළ යුතු වනවා.

සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම ද ප්‍රධාන නිර්දේශයක් ලෙසයි ඉදිරිපත් කර ඇත්තේ. ලොව පිළිගත් කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව හෝ වයස අවුරුදු 60 ඉක්මවූ සියලු දෙනාට ඉක්මනින් ලබාදීම ද තවත් නිර්දේශයක් වනවා.

මේ අතර ලෝක ප්‍රකට අමෙරිකානු වොෂින්ටන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය හෙවත් IHME ආයතනය ද  නවතම දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 01 වනදා වන විට මෙරට කොරෝනා මරණ 12,000 ඉක්මවා යනු ඇති බවයි ඔවුන් අනුමාන කරන්නේ.

තත්ත්වය වඩාත් දරුණු වුවහොත් එය 22,000 සේ සීමාවද ඉක්මවා යනු ඇති බවට එම ආයතනය අනතුරු අඟවනවා. මේවනවිට පවතින දෛනික මරණ ඔක්තෝම්බර් මාසය වන විට 350 හේ සීමාවට ආසන්න වනු ඇති බව ඔවුන්ගේ අනුමානයි.