Thursday, May 9, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් පරිපාලනය සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි




කොරෝනා ආසාදිතයින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හෝ නිවෙස් තුළ තබා කළමනාකරණය සඳහා අද සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පළමුවෙන් බස්නාහිර පළාත ඇතුළත නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි කොවිඩ් -19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. නව ක්‍රමය දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සිය තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩයක් 1904 දුරකථන අංකයට යොමු කළ යුතු වනවා. එම තොරතුරු වන්නේ රෝග තත්ත්වයේ ස්වභාවය, වයස, ජාතික හැදුනුම්පත් අංකය හා ලිපිනයයි. රෝග තත්ත්වයේ ස්වභාවය යටතේ ශ්වසන අපහසුතා ඇති රෝගීන් ඉංග්‍රීසි  - A අක්ෂරයද, උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් ඉංග්‍රීසි - B අක්ෂරයද, කිසිදු රෝග ලක්ෂණයක් නොමැති රෝගීන් ඉංග්‍රීසි - C අක්ෂරය ද යොමු කළ යුතු වනවා. 

SMS පණිවිඩය මඟින් ලැබෙන තොරතුරු කොවිඩ් 19 රෝගය පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ඇත. එමෙන්ම රෝගීන් සපයන තොරතුරු වර්ගීකරණයෙන් පසු දුරකථන අංක 247 මඟින් ඔවුන් සම්බන්ධ කරගැනීමට නියමිතයි. 

රෝග තත්ත්වය නිශ්චය කර ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන අතර ඒ සඳහා ගිලන්රථ සේවා සහ සෙසු ප්‍රතිකාර පහසුකම් සපයන බවයි කොවිඩ් -19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. වෛද්‍ය කණ්ඩායමක් නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන රෝගීන් සමඟ නිරතුරුව සම්බන්ධ වෙමින් අවශ්‍ය සේවා ලබා දෙන අතර ඒ, සඳහා වෙන් වු දුරකථන අංක 1390 ඔස්සේ එම පහසුකම් සැපයීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා සංඛ්‍යාව 5,000කට ආසන්නයි.