Thursday, May 9, 2024

General line - 0115112241

තවත් ප්‍රදේශ රැසක කඩ සාප්පු වැසේ

අමදෝරු අමරජීව / මාධව කුලසුරිය / රංජිත් රාජපක්ෂ / ජුඩ් සමන්ත / ටී කේ මහින්ද / රවීන්ද්‍ර චන්ද්‍රලාල්




පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවත් නගර කිහිපයක කඩ සාප්පු වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අතරට ගාල්ල තවලම, මාතර හා  කඹුරුපිටිය, අනුරාධපුරය, හැටන් කොටගල, ගල්ගමුව හා කිලිනොච්චිය ද අයත්. ගාල්ල නෙත් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ ගාල්ල නගරයට පිවිසෙන ජනතාවද සීඝ්‍රයෙන් අඩු වී ඇති බවයි. 

මාතර හා කඹුරුපිටිය යන නගරවල කඩ සාප්පු හෙට සිට වසා දැමීමට නියමිත බවයි නෙත් නිවුස් මාතර වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ. 

හලාවත නගරය ද වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. මේ, ඒ පිළිබඳ වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු ජුඩ් සමන්තගෙන්. 

 

කොටගල වෙලද සංගමයේ සභාපති පුෂ්පා විශ්වනාදන් පැවසුවේ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ වලට සහයෝගය දැක්විමට මෙම තිරණය ගත් බවයි. ඒ අනුව කොටගල නගරයේ සියළුම වෙලදසැල් සතියක කාලයක් වසා දමණු ඇති බවයි හැටන් නෙත් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ.

අනුරාධපුරය නගරයේ කඩ සාප්පු වසා දැමීමට ද එහි වෙළද සංගමය තීරණය කර තිබෙනවා. මීට අමරතව කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ට ගනිමින් කිලිනොච්චියේ සියලු කඩ සාප්පු ද වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. කිලිනොච්චියේ වෙළද සංගමයේ නිලධාරියෙකු පැවසුවේ එළැබෙන 20 වනදා සිට 25 වනදා දක්වා සියලු කඩ සාප්පු වසා දැමීමට තීරණය කළ බවයි.
උතුරු පළාතේ ජනතාවගේ සංචරණයද දැඩි ලෙස සීමා වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසුරිය පැවසුවේ. 

තඹුත්තේගම නගරයේ ද සියලු කඩ සාප්පු අද සිට ලබන 23 වන දා දක්වා වසා තැබීමට එහි වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා. ඒ, නගරයෙන්  හා ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් හමුවීම හේතුවෙන්. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයද සතියකට වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. වෙළඳ මධ්‍යස්ථාන 56 කින් සමන්විත වු මෙම ආර්ථික මධ්‍යස්ථානයේ 300 පමණ පිරිසක් සේවාවේ යෙදි සිටින අතර මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයෙන් පමණක් කොරොනා ආසාදිතයින් 17 දෙනෙකු හදුනාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ත්‍රිකුණාමලය නගරයේ අත්‍යාවශ්‍ය නොවන කඩ සාප්පු රැසක් මේ වන විට වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු අමදෝරු අමරජීව පැවසුවේ. 

මේ වන විටත් දිවයින පුරා ප්‍රදේශ රැසකක ඩ සාප්පු එම වෙළද සංගම් විසින් වසා දමා තිබෙනවා.  එලෙස ස්වයං ලොක්ඩවුන් කිරීමකට ලක් කරගෙන ඇති නගර සංඛ්‍යාව 48කට ආසන්නයි. කෙසේවෙතත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ කඩ සාප්පු වසා දැමුණද අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ ජනතාවට ලබා දීමේදී කිසිදු බධාවක් සිදු කර නොගන්නා බවයි.