Friday, May 3, 2024

General line - 0115112241

ඇෆ්ගන් වැසියන්ට රටින් පිටවීමත් තහනම් වෙයි




ඇෆ්ගනිස්ථාන ජනතාවට රටින් පළා යාම තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය කටයුතු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ තලෙයිබාන් සටන්කාමීන් මාර්ග බාධක යොදා කාබුල් ගුවන් තොටුපල වෙත පැමිණෙන ජනතාව දැඩි පරීක්ෂාවට ලක් කරන බවයි. කාබුල් ගුවන් තොටුපලට ඇතුළු වීමට අවසරය ලබා දී ඇත්තේ විදේශිකයින්ට පමණයි. 

තලෙයිබාන් සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ බටහිර රටවල් රැසක් ඇෆ්ගනිස්ථානයේ වෙසෙන සිය රටවැසියන් හා ඇෆ්ගනිස්ථාන ජනතාව බේරා ගැනීම සඳහා ගුවන් යානා පිටත් කර හැර ඇති පසුබිමකයි. ඕස්ටේ්‍රලියාවද එලෙස ඇෆ්ගනිස්ථානය වෙත විශේෂ ගුවන් යානයක් පිටත්කර හැර තිබුණා.

තලෙයිබාන් පාලනයෙන් මීදි කාබුල් ගුවන්තොටුපල වෙත පැමිණෙන එරට වැසියන්ට සටන් කාමීන් පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව කාබුල් ගුවන්තොටුපල ආශ්‍රිත නගරය පුරා මාර්ග බාධක දැඩි කිරීමට තලෙයිබාන් සටන්කාමීන් මේ වන විටත් කටයුතු කර අවසන්. 

ඉස්ලාමීය නීතිය යටතේ කාන්තාවන්ට සිය අයිතිවාසිකම් ලබා දෙන බවට තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළද මේ දක්වා එවැන්නක් සිදුවන අයුරක් දක්නට නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කාබුල් නුවර තිබූ කාන්තා රූප මකා දැමීමත් අද වන විට ඒවා පොදු ස්ථානවලින් ඉවත් කිරීමක් ඊට උදාහරණයක් ලෙස දක්වා තිබුණා.