Friday, May 3, 2024

General line - 0115112241

පාපන්දු තරුවක් ඇෆ්ගනිස්තානයෙන් පළා යද්දී ගුවන් යානයෙන් ඇදවැටී මරුට




කාබුල් ගුවන් තොටුපළෙන් පිටව යන අමෙරිකානු හමුදා ගුවන් යානයක රැඳී සිටීමට උත්සාහ කළ තරුණ පාපන්දු ක්‍රීඩකයෙකු ඉන් ඇද වැටී මිය ගිය බව ඇෆ්ගනිස්ථාන බලධාරීන් අද තහවුරු කර තිබෙනවා. 

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 19 හැවිරිදි සකී අන්වාරි නම් වූ ඇෆ්ගනිස්ථානයේ ජාතික තරුණ පාපන්දු කණ්ඩායම සඳහා ක්‍රීඩා කළ අයෙකු බවයි. කෙසේ වෙතත් ඔහුගේ මරණය තහවුරු කළද මිය ගියේ කවදාද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නැහැ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමත් සමඟ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිය රටින් පළා යාමට කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි සිටිනු ඉකුත් දින කිහිපයේදීම දක්නට ලැබුණා. 

ගුවන් යානා පිරී ඉතිරී ගොස් ඇති පසුබිමක ඇතැම් පිරිස් උත්සහ දැරුවේ ගුවන් යානාවල පිටත එල්ලී හෝ රටින් පළා යාමටයි. එහෙත් එලෙස එල්ලී ගිය කිහිපදෙනෙකු උඩු ගුවනේදී බිම ඇද වැටී මිය යන අයුරු ඉකුත් දින කිහිපයේ දැකගත හැකි වුණා. 

මෙම තත්ත්වය තවත් තීව්‍ර වුණේ බටහිර රටවල් සිය පුරවැසියන් සහ හිතවාදීන් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් රටින් ඉවත් කර ගැනීමට කඩිනම් පියවර ගැනීමත් සමඟයි. අමෙරිකානු ගුවන් හමුදා යානයක් ධාවන පථයෙන් ඉදිරියට යද්දී සිය ගණනක් මිනිසුන් ඒ සමඟ දිවයන ආකාරයද දැකගත හැකි වුණා. 

එවැනි ගුවන් යානයක් කටාර් වෙත ගොඩබෑමෙන් පසු එහි ගොඩබෑමේ උපාංගවල තිබී මිනිස් සිරුරු හමු වූ බව ඇමරිකානු ගුවන් හමුදාව ද තහවුරු කර තිබෙනවා.