Friday, May 3, 2024

General line - 0115112241

තලේබාන් සාමාජිකයෝ ඉන්දීය තානාපති කාර්යාලවලට කඩා පනී 




ඇෆ්ගනිස්තානයේ හේරාට් සහ කන්දහාර් හි පිහිටි ඉන්දීය කොන්සියුලර් කාර්යාල වෙත ඇතුළු වූ තලේබාන් සාමාජිකයන් ඒවායේ තිබූ ලියකියවිලි සහ වාහන රැගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.

කෙසේවෙතත්, තලේබාන් සාමාජිකයන් ඇතුළුවන අවස්ථාවේ දී එම කාර්යාල වසා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 ජලාල්බාද්හිදී පිහිටි ඉන්දීය  කොන්සියුලර් කාර්යාලයට සහ කාබුල් හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාල වෙත තලේබාන් සංවිධානයෙන් එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.

කාබුල්හි බලය අල්ලාගෙන සිටින තලේබාන් සාමාජිකයන් හිටපු ජනාධිපතිවරයකු වන හමීඩ් කර්සායි ඇතුළු ඇෆ්ගනිස්තාන නායකයන් පිරිසක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින බව ද  වාර්තා වනවා.

ඔවුන් හරහා තලේබාන් සංවිධානය වෙත බලය පවරා ගැනීමක් සිදුකර තමන්ගේ පාලනයට නිල පිළිගැනීමක් ලබා ගැනීම තලේබාන් සංවිධානයේ අරමුණ බව ද සදහන්.

මෙි අතර කාබුල්හි රැදී සිටින තලේබාන් සාමාජිකයන් ගෙන් ගෙට යමින් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් ඇමරිකානු ඇතුළු නේටෝ හමුදාවන්ට සහය දුන් පිරිස් සෙවීමේ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙන බව ද වාර්තා වනවා.

මෙි හේතුවෙන් කාබුල්හි නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනාස් හක්කානි නම් නායකයාගේ ප්‍රධානත්වයෙන් යුත් හයදහසක පමණ වන හක්කානි තලේබාන් ජාලයේ සාමාජිකයන් කාබුල්හි තලේබාන් මෙහෙයුම් භාරව සිටින බව සදහන්.