Friday, May 3, 2024

General line - 0115112241

යුක්රේන ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයේදී පැහැර ගැනේ




ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළේ රැඳී සිටි යුක්රේන වැසියන් මුදා ගැනීමේ මෙහෙයුමට එක්වූ යුක්රේන ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්ව ඇතැයි එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා. 

ගුවන් යානය තුළම සිටි නාඳුනන කණ්ඩායමක් විසින් ගුවන් යානය පැහැරගෙන ඇති බවත් පසුව එම යානය ඉරානයට පියාසර කර ඇති බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

කෙසේවෙතත්, යුක්රේන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ අදාළ ප්‍රකාශය යුක්රේනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පසුව ප්‍රතික්ෂේප කිරීම විශේෂත්වයක්. ඔහු පවසන්නේ ඇෆ්ගනිස්තානයේ මුදා ගැනීමේ මෙහෙයුම්වල නිතර සිය ගුවන් යානයක් එලෙස පැහැර ගැනීමට ලක්ව නොමැති බවයි. 

පැහැර ගැනීමට ලක්වූ බව කියන ගුවන් යානය ඉරානයට රැගෙන ගොස් ඇති බවට පළවන වාර්තා ඉරානය ද ප්‍රතික්ෂේප කළා. 

කෙසේවෙතත්, ඇෆ්ගනිස්තානයෙන් පිටවීමේ අපේක්ෂාවෙන් කාබුල් ගුවන් තොටුපළ තුළ රැඳී සිටින යුක්රේන වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් ඉදිරියේදී සිදුවන්නේ කෙසේදැයි යුක්රේනය මෙතෙක් පවසා නැහැ. 

මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළ එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ කාබුල් ගුවන් තොටුපළේ රැඳී සිටි යුක්රේන වැසියන් මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ තවත් මෙහෙයුම් කිහිපයක් අසාර්ථක වුූ බවයි. 

එවැනි අවස්ථාවල සිය ගුවන් යානා තුළට ඇතුළුවීමට යුක්රේන වැසියන්ට නොහැකි වී ඇති බවද ඔහු සඳහන් කළා.