Saturday, May 18, 2024

General line - 0115112241

රටේ ඉදිරිය ගැන තීරණයක් ගන්න ජනපති සමඟ අගමැතිත් එක් වෙයි




නිරෝධායන ඇදිරි නීතිය ලබන 30 වනදායින් පසුවත් ක්‍රියාත්මක කරනවාදැයි තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

ඒ, අද පැවැත්වෙන කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමෙන් පසුවයි. 

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්ම කාල සීමාව තුළ ප්‍රගතිය මෙන්ම රට තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හා සිදුවන මරණ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. 

නෙත් නිවුස් වෙත වාර්තා වුණේ මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී සිටින බවයි. 

ඔහු කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමට සහභාගී වන දෙවන අවස්ථාව මෙයයි. 

සාමාන්‍යයෙන් අග්‍රාමාත්‍යවරයා මෙම රැස්වීමට සහභාගී නොවන නමුත් රට වසා දැමීමට තීරණය කෙරුණු ඉකුත් සතියේ පැවති රැස්වීමටත් ඔහු පළමු වරට සහභාගී වුණා.

මේ අතර නෙත් නිවුස් සමග විශේෂ සාකච්චාවකට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවේ දීර්ඝ කාලීනව රට වසා තැබීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බවයි. 

මේ වනවිට රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීම සදහා මේ මොහොතේ ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවයි එහිදී අවධාරණය කෙරුණේ. 

ඒ අනුව රට යළි විවෘත කරන අවස්ථාවේදී ජනතාවද වඩාත් වගකීමෙන් කටයුතු කළයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පැවසුවා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ තවදුරටත් ආසාදිතයින් සහ කොරෝනා මරණ සිදුවීමේ වැඩි සම්බාවිතාවක් පවතින බවයි.

කෙසේ වෙතත් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළද නිරෝධායන නීති කඩ කිරීමේ අවස්ථා තව දුරටත් දැකගත හැකියි. 

ඉකුත් පැය 24 රේද නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම හා නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 626 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර බස්නාහිර පළාත තුළට පිට පළාත්වල සිට ඇතුලු වන සහ බස්නාහිර පළාතෙන් පිටතට යන වාහන පරීක්ෂා කිරීම මාර්ග බාධක 13 කදී තවදුරටත් ක්‍රියාත්මකයි. 

එහිදී බස්නාහිර පළාතට ඇතුල්වීමට තැත් කළ වාහන 302 ක් සහ පුද්ගලයින් 580 ක් පරීක්ෂා කර තිබෙනවා. 

බස්නාහිරින් පිටවීමට තැත් කළ වාහන 307 ක් මහ පුද්ගලයින් 515 ක් පරීක්ෂා කළ බවයි පොලීසිය පැවසුවේ.