Sunday, May 19, 2024

General line - 0115112241

කොවැක්ස් පහසුකමෙන් ෆයිසර් එන්නත් මිලියනයක් පරිත්‍යාග කෙරේ




කොවැක්ස් පහසුකම යටතේ අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. එම එන්නත් තොගය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති එලෙයිනා ඩි ටෙප්ලිට්ස් විසින් අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත නිල වශයෙන් භාරදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. 

මෙරට එන්නත්කරණ වැඩසටහන කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් එම පරිත්‍යාගය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපතිනි එලෙයිනා ඩි ටෙප්ලිට්ස් එහිදී සදහන් කර තිබෙනවා. එහිදී අදහස් පළ කළ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා ඇත්තේ අගෝස්තු 26 වන දිනවිට මෙරට ජනගහණයෙන් සියයට 25 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකි බවයි. 

මෙම වසර අවසන් වන විට මෙරට ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකි වනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ. 

මීට පෙර ද අමෙරිකාව විසින් මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5 ක් මෙරටට පරිත්‍යාග කර තිබුණා.

මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා විසි තුන් ලක්‍ෂයක්ද අද මෙරටට ලැබුණා. ඉන් එන්නත් මාත්‍රා තුන් ලක්‍ෂයක් චීන මහජන විමුක්ති හමාව විසින් මෙරටට පරිත්‍යාග කර තිබුණා. ඒවා භාර ගැනීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියා.