Sunday, May 19, 2024

General line - 0115112241

නොවැම්බරයේ සිට 3 වන මාත්‍රාව ලබාදීමට අවධානය




හදුනාගත් පිරිස් වෙනුවෙන් ලබන නොවැම්බර් හා දෙසැම්බර් මාස වනවිට කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාවක් ලබාදීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. 

එහි සභාපති විශේෂ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ ලැබි ඇති නිර්දේශය මත බරපතල රෝගී තත්ත්වයට පත්විය හැකි සහ කොරෝනා වෛරසයට නිරන්තරයෙන් මුහුණදී අවදානම් කලාපයට යන පිරිස් වෙනුවෙන් එම එන්නත් මාත්‍රාව ලබාදීමට අවශ්‍ය මූලික පසුබිම සකස් කර ඇති බවයි.

මේ අතර ඉකුත් 26 වනදා සිදුවූ කොරෝනා මරණ සැලකීමේදී සෑම පැයකම කොරෝනා මරණ 9 ක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය  සංගමය පවසනවා. එදින මෙරටින් කොරෝනා මරණ 214 ක්  වාර්තා වුණා. කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීම සදහා අනිවාර්යයෙන්ම සෑම පුද්ගලයෙකුම එන්නත් මාත්‍රා දෙකම ලබාගත යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය  පත්මා ගුණරත්න පැවසුවේ.

කෙසේවෙතත් ලබන මස මැද භාගය වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව අඩුවනු ඇති බවට විශ්වාස කරන බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ.