Sunday, May 19, 2024

General line - 0115112241

බන්ධනාගාර නියාමක තනතුර සඳහා තෝරාගත් 788 දෙනෙකු සේවයට කැඳවයි 




බන්ධනාගාර නියාමක තනතුර සඳහා තෝරාගත් 788 දෙනෙකු සේවයට කැඳවා තිබෙනවා. 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ එම පිරිසට ලබන සැප්තැම්බර් 6 වනදා සේවයට වාර්තා කරන ලෙස දන්වා ඇති බවයි. 

2019 වසරේ පැවති බන්ධනාගාර නියාමක බඳවා ගැනීමට අදාල විභාගයෙන් සමත්වූවන්ගෙන් මෙම පිරිස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බඳවා ගෙන තිබෙනවා. 

සැප්තැම්බර් 6 වනදා සේවයට වාර්තා කරන ලෙසට දැන්වූ පිරිසට කාන්තා නියාමකවරියන් 84 දෙනෙකු ද අයත්. අලුතින් බඳවා ගත් මෙම පිරිසෙන් බහුතරයක් වැලිකඩ, මහර, අඟුණකොළපැලැස්ස සහ ප්‍රධාන බන්ධනාගාරවලට අනියුක්ත කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් එම පිරිසට පළමු පියවර ලෙස අදාල බන්ධනාගාර තුළදී මූලික පුහුණුව ලබාදීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර ජේලර් තනතුර සඳහා බඳවා ගැනුණු නවක නිලධාරීන් 82 දෙනෙකුට ඉකුත්දා මාස තුනක පුහුණුවක් ආරම්භ කෙරුණා. 

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පැවති එම පුහුණුව අතරතුර නිලධාරීන් 20 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය  ආසාදනය වී තිබුණා. 

ලබාදුන් එම පුහුණුව තාවකාලිකව නතර කර ආසාදිතයින් ලෙස හඳුනා ගත් නිලධාරීන් එම බන්ධනාගාරය තුළදීම ප්‍රතිකාර සදහා යොමු කර පුහුණුවට සහභාගිව සිටි අනික් නිලධාරීන් නිරෝධායනයට යොමු කෙරුණා.

එම සිද්ධිය ද සැලකිල්ලට ගනිමින් ලබන 6 වනදා සේවයට වාර්තා කරන නව බන්ධනාගාර නියාමකවරුන්ට අදාල බන්ධනාගාරවලදී පළමුව මූලික පුහුණුවක් ලබාදීමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.