Sunday, May 19, 2024

General line - 0115112241

ප්‍රමිතියෙන් තොර තවත් ඔක්සිමීටර් තොගයක් ගාල්ලෙන් අල්ලයි

ලලිත් චාමින්ද - ගාල්ල




ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් 250ක් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී සොයාගෙන තිබෙනවා. දකුණු පළාත් ආහාර හා ඖෂධ පරීක්ෂක කේ.එච් ජයරත්න පැවසුවේ ඖෂධශාලා 42කින්  එම ප්‍රමිතියෙන් තොර  ඔක්සිමීටර්  සොයා ගත්බවයි.

ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් අලෙවිවන බවට  ජාතික ඖෂධ නියාමක අධිකාරියට හා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට ලද පැමිණිලිවලට අනුව ඊයේ දින ගාල්ල, කරාපිටිය, බද්දේගම හා අම්බලන්ගොඩ යන නගර ආශ්‍රිව මෙම පරීක්ෂා කිරීම් සිදු කළ බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් වෙළද පොළෙන් මේ වන විට සොයාගෙන ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සදහන් කළා. කොරෝනා රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනීම සදහා ඔක්සි මීටර් යොදා ගැනීමත් සමග එම උපකරණවලට ඇති ඉල්ලුමද මේ වනවිට ඉහළ යමින් තිබෙනවා.

 මේ හේතුවෙන් ඇතැම් පිරිස් ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර් අළෙවි කරන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක, නීති බලගැන්වීම් අංශයේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා පැවසුවේ. ප්‍රමිතියෙන් තොර එවැනි උපකරණ වෙළද පොලෙන් ඉවත් කිරීමේ කටයුතු ඉදිරියටත් සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.