Saturday, May 18, 2024

General line - 0115112241

රුපියල් කෝටි දෙකක් යාපනයේ වැසියන්ට බෙදමින් සිටි වයෝවෘද්ධ පියෙකු අත්අඩංගුවට (PHOTOS)

දිනසේන රතුගමගේ




යාපනයේ උඩුප්පිඩි වදිරියන් පාරේ නිවසකදී  රුපියල් කෝටි දෙකක මුදලක් පළාතේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්යාාග කරමින් සිටි පුද්ගලයින් තුන් දෙනෙකු නෙල්ලි අඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

විදේශ රටක සිටින පුතෙකු විසින් තම පියාට රුපියල් කෝටි දෙකක මුදලක් එවා මේ දිනවල අසරණ තත්ත්වයට පත්ව සිටින පවුල්වලට එම මුදල එක් අයෙකුට රුපියල් 2000 බැගින් ලබා දෙන මෙන් පියාට දැණුම් දී තිබෙනවා.
 
වයෝවෘද්ධ පියා පවුලේ තවත් දෙදෙනෙකු සමග එම මුදල බෙදා දීම ආරම්භ කළ විට ආරංචිය ලද යාපනයේ වැසියෝ දෙදහසකට වැඩි පිරිසක් පැමිණ දිගු  පෝලිමක සිට මුදල් ලබා ගැනීමට පටන් ගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.  

එසේ පැමිණි පිරිසෙන් විශාල පිරිසක් මුව ආවරණ පවා පැළද සිට නොමැති අතර නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකවන මොහොතක නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විශාල ජනකායක් එක් ස්ථානයකට රැස් කිරීමේ චෝදනාව මත වයෝවෘද්ධ පියා හා ඥාතීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත රැගෙන ගොස් තිබෙනවා. 

ඒ වන විට රුපියල් 2000 බැගින් පුද්ගලයින් 500 දෙනෙකු පමණ ලබා ගෙන සිටි අතර ඉතිරි පිරිස පොලීසිය විසින් අවවාද කොට පලවා හැර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.