Sunday, May 19, 2024

General line - 0115112241

බන්ධනාගාර නියාමක තනතුරට බඳවාගත් 270 ක් සේවයට වාර්තා නොකරයි




බන්ධනාගාර නියාමක තනතුරට ඉකුත්දා බදවා ගත් 788 දෙනාගෙන් සේවයට වාර්තා කර ඇත්තේ 518 දෙනෙකු පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

ඉකුත් 2019 වසරේ පැවති තරග විභාගයෙන් සමත්ව සුදුසුකම් ලැබූ 788 දෙනෙකු බන්ධනාගාර නියාමක තනතුර සදහා බඳවා ගැනීමටයි එම දෙපාර්තමේන්තුව පියවර ගත්තේ. 

ඒ සඳහා සුදුසුකම් ලැබූ එම පිරිසට පීසීආර් පරීක්ෂණයක් සිදුකර එම වාර්තාව ද රැගෙන  ඉකුත්  6 වනදා ඔවුන් අනුයුක්ත කර ඇති බන්ධනාගාර වෙත වාර්තා කර ලෙසට මීට පෙර දැනුම්දී තිබූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවා.

කෙසේවෙතත් එම පිරිසෙන් ඔවුන් අනුයුක්ත කෙරුණු බන්ධනාගාර වෙත වාර්තා කර ඇත්තේ 518 දෙනෙකු පමණයි. 

සේවයට වාර්තා නොකළ  270 දෙනාගෙන් 65 කට ආසන්න පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ඔවුන් රාජකාරි සඳහා වාර්තා කිරීමට පෙර ලබාගෙන ඇති පීසීආර් පරීක්ෂණ වාර්තාව අනුවයි. 

සේවයට වාර්තා නොකළ අනෙක් පිරිසට සේවයට වාර්තා කිරීමට සතියක පමණ සහන කාලයක් ලබාදීමටයි තීරණය වී ඇත්තේ. 

එම සහන කාලය නිම වීමෙන් පසු සේවයට වාර්තා නොකරන බන්ධනාගාර නියාමක නිලධාරීන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

මේ අතර ඊයේ දිනයේ රාජකාරි සඳහා වාර්තා කළ බන්ධනාගාර නියාමක නිලධාරීන් සඳහා සති දෙකක පුහුණුවක් ආරම්භ කර තිබෙනවා.