Sunday, May 19, 2024

General line - 0115112241

අද සහ හෙට විවෘතවන ආර්ථික මධ්‍යස්ථාන




සියළු ආර්ථික මධ්‍යස්ථාන අද යළිත් විවෘත කෙරුණා. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ පැවසුවේ හෙට දිනයේද ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලබාදුන් බවයි. 

කෙසේවෙතත් එම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින්නේ තොග වෙළදාම් කටයුතු සදහා පමණයි. 

රට තුළ නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළ බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ පැවසුවේ. 

මීට පෙරද ප්‍රකාශයට පත් කෙරුණු දිනවලදී පමණක් ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම සදහා පමණක් විවෘත කිරීමට අවසර ලබාදී තිබුණා.

කෙසේවෙතත් බොහෝ ආර්ථික මධ්‍යස්ථාන අසල ඊයේ රාත්‍රියේ සිටම දිගු පෝලිම් දක්නට ලැබුණා. 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට ප්‍රධාන මාර්ගවල පැය කිහිපයක්ම දිගු පෝලිම් පැවතියේ එළවළු රැගෙන ආ ගොවීන් හේතුවෙන්. 

මේ අතර නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ එළවළු මිල ගණන් අද දිනයේ මධ්‍යස්ථ මට්ටමක පැවති බවයි. කැරට්, බෝංචි, තක්කාලි හා මාලු මිරිස් වැනි උඩරට එළවළු කිලෝවක තොග මිල රුපියල් සියයේ සිට 190 ක මට්ටමක පැවතියා. 

වට්ටක්කා, මෑ කරල්, වම්බටු, පතෝල වැනි පහතරට එළවළු කිලෝවක මිල රුපියල් 60 ත් 110 ත් අතර පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

කෙසේවෙතත් පාරිභෝගික ජනතාව පවසන්නේ ජංගම රථවලින් ගෙනවිත් අළෙවි කරන එළවළුවල මිල ඉහළ මට්ටමක පවතින බවයි.