Sunday, May 19, 2024

General line - 0115112241

මාධ්‍ය මර්දන කතාවට විද්‍යුත් විකාශකයින් උත්තර දෙයි




ජනමාධ්‍ය ආයතන වසා දැමීමට කටයුතු කරන බවට තර්ජනාත්මක උධෘතයක් භාවිත කරමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය අද සිය ප්‍රතිචාරය පළ කළා. ඔවුන් පවසන්නේ ගීත නිර්මාණකරුවන්ගේ කතෘභාග ගෙවීම සම්බන්ධයෙන් වැරදි සහගත කරුණු රැසක් එමගින් ඉදිරිපත් කර ඇති බවයි. 

පිරිසක් විසින් පෞද්ගලික සමාගමක් පිහිටුවා අත්තනෝමතිකව තීරණය කරන ලද ගාස්තු ක්‍රමවේදයක් මාධ්‍ය ආයතන වෙත එවා එම ගාස්තු තම ආයතනයට ගෙවන ලෙස මාධ්‍ය ආයතන වෙත දැනුම් දී ඇති බවයි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එහිදී නිර්මාණකරුවන්ට හිමිවීමට ඇති මුදලින් සියයට 45 ක් අදාළ සමාගමට අත්පත් වන පරිදි ඔවුන් කටයුතු කරමින් ඇති බවත් එහි සදහන්. 

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත ලිපියක් ද යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ගීත නිර්මාණකරුවන්ට කතෘභාග සහ සෙසු නෛතික ගෙවීම් සිදු කිරීමට මාධ්‍ය ආයතන සියල්ල සූදානම්ව සිටින මොහොතක එවැනි සමාගමක් පටු ලාභ පරමාර්ථ උපයෝගී කර ගනිමින් කටයුතු කරන බවයි.