Sunday, May 19, 2024

General line - 0115112241

අගමැති ඉතාලියට 




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද අලුයම ඉතාලිය බලා පිටත්ව ගියා. 

ඒ, යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය සිදුකිරීම සදහායි. එම උත්සවයෙන් පසු අග්‍රාමාත්‍යවරයා ඉතාලියෙන් පිටත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මෙම සංචාරය සදහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ද එක් වුණා.

 කෙසේවෙතත් එම සංචාරය සම්බන්ධයෙන් ඉකුත් දිනවල දැඩි කතාබහක් මතු වුණේ අග්‍රාමාත්‍යවරයා ඉතාලියේදී ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැ දැක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති බවට විවිධ පාර්ශව විවිධ අදහස් පළ කිරීමත් සමගයි.

 කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉකුත්දා පැවසුවේ මෙම සංචාරය පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමේ උත්සාහයක් විය හැකි බවටයි.

එහෙත් එම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැ දැකීමක් සිදු නොවුනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ. 

සිය ඉතාලි චාරිකාවේදී පාප් වහන්සේ බැහැ දැකීම පිණිස වතිකානය වෙත යාම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර හෝ එවැනි ආරාධනයක් හෝ ලැබී නොමැති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.