Sunday, May 19, 2024

General line - 0115112241

පනවා ඇති දැඩි සීමා හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය ක්‍ෂේත්‍ර කිහිපයකට බලපෑම්




අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සදහා පනවා ඇති දැඩි සීමා හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය ක්‍ෂේත්‍ර කිහිපයකට බලපෑම් එල්ලවීමේ අවදානමක් ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. 

ප්‍රවාහන සහ සෞඛ්‍ය ඒ අතරින් ප්‍රධානයි. 

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රබර් ටයර් ආනයනයට සීමා පැනවීම හේතුවෙන් ත්‍රිරෝද රථ, වෑන් රථ සහ බස් රථ ඇතුළු මගී ප්‍රවාහනයට මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයේදීද එම ක්‍ෂේත්‍රවලට බලපෑම් එල්ල විය හැකි බවයි.

 මේ වනවිටද වෙළදපොල තුළ ටයර් මිල ඉහළ ගොස් ඇති පසුබිමක ඉදිරියේදී තවදුරටත් ටයර් මිල ඉහළයාමේ අවදානමක් පවතින බව ප්‍රවාහන ක්‍ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පෙන්වා දෙනවා. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ටයර් අවශ්‍ය ප්‍රමාණයද ඉක්මවා මේ වනවිට මෙරටට ගෙන්වා ඇති බවයි. 

2019 දී අමෙරිකානු ඩොලර් මිලියන 42 යි දශම 2 ක් වූ මෙරටට ටයර් ආනයනය කිරීමට ගිය වියදම ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 28 යි දශම 5 ක් දක්වා අඩු වී තිබුණා.

 එහෙත් මේ වසරේ පළමු මාස 7 තුළ පමණක් මෙරටට ටයර් ආනයනය කිරීම සදහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 40 යි දශම 1 ක්.

ආනයන සීමා යටතේ වායුසමීකරණ යන්ත්‍ර ද මෙරටට ගෙන්වීමට සීමා පනවා තිබීම හේතුවෙන් ක්‍ෂේත්‍ර කිහිපයකට බලපෑම් එල්ලවීමේ අවදානමක් මතුව තිබෙනවා. රෝහල්, දැඩි සත්කාර ඒකක, ඖෂධ ගබඩා මෙන්ම සන්නිවේදන ක්‍ෂේත්‍රයද ඒ අතරට අයත්. 

රෝහල් පද්ධතියට අවශ්‍ය වායුසමීකරණ යන්ත්‍ර මෙරටට ගෙන්වීම හෝ ඒවායේ මිල වැඩිවීම යළි ඍජුව බලපාන්නේද රෝහල් පද්ධතියටම බවයි ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ. 

2019 දී අමෙරිකානු ඩොලර් මිලියන 50 යි දශම 4 ක් වූ මෙරටට වායුසමීකරණ යන්ත්‍ර ආනයනය කිරීමට ගිය වියදම ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 43 ක් දක්වා අඩු වී තිබුණා. 

මේ වසරේ පළමු මාස 7 තුළ පමණක් මෙරටට වායුසමීකරණ යන්ත්‍ර ආනයනය සදහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 34 යි දශම 4ක්.

වහාම ක්‍රියාත්මක වන පරිදි කාණ්ඩ 11කට අයත් භාණ්ඩ 623ක් ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට  ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළා. 

ඒ අනුව යම් භාණ්ඩයක් මෙරටට ගෙන්වීමට ණයවර ලිපි හෙවත් එල් සී විවෘත කිරීමේදී අදාළ භාණ්ඩයේ වටිනාකමට සමාන රුපියල් ප්‍රමාණය ආනයනකරුගේ ගිණුමේ පැවතිය යුතු බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ.

කිසියම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමෙන් සිදුවන්නේ කුමක්ද ? මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන.

මෙම ක්‍රියාමාර්ගය හරහා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අවම වනු ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

අදාළ භාණ්ඩ 623 මෙරටට ගෙන්වීමට 2019 දී අමෙරිකානු ඩොලර් මිලියන 1,057 යි දශම 9 ක් වැය කර ඇති අතර ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 871 යි දශම 2 ක් දක්වා අඩු වී තිබුණා. 

මේ වසරේ පළමු මාස 7 තුළ පමණක් මෙම භාණ්ඩ ආනයනය සදහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 753 යි දශම 4 ක්.