Thursday, May 9, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තාන වැසියන්ට තහනමක් 




විවිධ මෝස්තරවලට අනුව කොණ්ඩය හා රැවුල කැපීම ඇෆ්ගනිස්තාන වැසියන්ට තහනම් කර තිබෙනවා. 

ඒ, තලෙයිබාන් සංවිධානය විසින්. විදෙස් වාර්තා පවසන අන්දමට තහනම පනවා ඇත්තේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ වැසියන්ටයි. 

එම තහනමට අනුව කිසිවෙකු සිය කොණ්ඩය හෝ රැවුල කැපීම සිදුකරනවා නම් එය සිදුකළ යුත්තේ ෂරීයා නීතියට අනුව බවයි තලෙයිබාන් සංවිධානය පවසා ඇත්තේ. 

මේ පිළිබඳ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කොණ්ඩා හා රැවුල කපන ස්ථානවලට ද තලෙයිබාන් සංවිධානය විසින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. 

තලෙයිබාන් පාලනය බිඳවැටී තිබූ කාලයේදී ඇෆ්ගනිස්තානයේ කොණ්ඩා හා රැවුල කපන පුද්ගලයින්ගේ සේවාවන්ට දැඩි ඉල්ලුමක් පැවතුනා. 

ඒ, විවිධ මෝස්තර අනුව සිය කොණ්ඩය හා රැවුල සකසා ගැනීමට ඇෆ්ගනිස්තාන වැසියන් දැඩි කැමැත්තක් දැක්වීමත් සමගයි. 

කෙසේවෙතත් හෙල්මන්ඩ් ප්‍රාන්තයේ පිහිටි ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාර වලට රජයේ නිලධාරීන් බව පවසමින් දුරකථන ඇමතුම් ලබාදෙන බවත්, අමෙරිකානු මෝස්තර අනුකරණය නොකරන ලෙස හා රැවුල කැපීම කිසිසේත් සිදුනොකරන ලෙසත් එම ඇමතුම් හරහා තමන්ට දැනුම්දී ඇති බවත් ඇතැම් රූපලාවන්‍යාගාර සේවකයින් පවසනවා. 

ඇතැම් කොණ්ඩා කපන ස්ථානවලට තලෙයිබාන් සංවිධානයේ සටන්කාමීන් පැමිණ රැවුල කැපීම සිදුනොකරන ලෙස දැනුම් දී ඇතැයි ද සඳහන්. 

එම නියෝගය එරෙහිව කිසිවෙකුට පැමිණිලි කළ නොහැකි බවයි තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරුවල සඳහන් වන්නේ. නියෝගය කඩකරන පුද්ගලයින්ට දඬුවම් පමුණුවන බව ද තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.