Tuesday, May 7, 2024

General line - 0115112241

ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ පුරෝගාමී මෙහෙවර සදා අනුස්මරණීයයි - ජාතික ජන බලවේගය




ලාංකේය ඉතිහාසයට මහත් සාධාරණයක් ඉටු කරනු පිණිස තම දිවිය කැපකළ ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වීම ගැන ජාතික ජන බලවේගය සිය ශෝකය පළකර තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වශයෙන්ද පුරාවිද්‍යාඥයෙකු වශයෙන්ද ඒ මහතා මෙරටට ඉමහත් සේවයක් කරනු ලැබුවා.

පුරාවිද්‍යා ක්ෂේත්‍රය බැබළවූ ඒ මහා ප්‍රාමාණිකයාගේ වියෝව වෙනුවෙන් ශෝක වන ඒ මහතාගේ ඥාතීන්ට සහ හිතවතුන්ට ජාතික ජන බලවේගය ශෝකය පළ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වර්ෂ 1942 මාර්තු මස 01 වනදා උපත ලැබූ ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා, ඉතිහාසය, පුරාවිද්‍යාව, මානවවිද්‍යාව යනාදී ක්ෂේත්‍ර ගණනාවක පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද කීර්තිමත් දැරණියගල පවුලේ සාමාජිකයකි.

ප්‍රාග් ඓතිහාසික යුගය ගවේෂණය කිරීම පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ දැරණියගල මහතාගේ ඍජු මැදිහත්වීම තුළ අනාවරණය වූ ඓතිහාසික කරුණු මෙන්ම ඒ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉදිරියට ගිය පුරාවිද්‍යා පර්යේෂණ කණ්ඩායම් විසින් සිදු කරන ලද ඓතිහාසික අනාවරණයන් බොහෝය.

1969 තරම් යුගයක අනුරාධපුර ඇතුල්නුවර කැණීම් සිදු කර ක්‍රි.පූ. නමවන හෝ අටවන සියවස්වල ලංකාවේ පැවති දියුණු සමාජයක සාධක හඳුනාගැනීමට ඔහු දක්වන ලද මැදිහත්වීම අතිශය වැදගත් වන්නේ එමගින් දකුණු ආසියා කලාපයෙන් හමුවන පැරණිතම අක්ෂර සහිත පුරාවිද්‍යා සාධක සොයා ගැනීමට හැකිවීම නිසාය.

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ලංකාවේ ස්ථාන ගණනාවක කැණීම් සිදු කිරීමටද දැරණියගලයන් පුරෝගාමී වූ අතර බූන්දල ප්‍රදේශයේ විසූ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක හඳුනාගැනීමට ලාංකික පුරාවිද්‍යාඥයින් සමත්වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

රජයේ සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසුවද, ලාංකේය පුරාවිද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් ඉටු ආචාර්ය දරණියගලයන් ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය සැකසීම සඳහා ලබා දුන් දායකත්වය කැපී පෙනේ.

ආචාර්ය සිරාන් දැරණියගලයන් ලාංකේය පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දක්වන ලද පුරෝගාමී මෙහෙවර සදා අනුස්මරණීය වේ.