Thursday, May 16, 2024

General line - 0115112241

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වැටුණු විෂ රසායන අඩංගු කන්ටේනර් තවමත් මුහුදු පතුලේ ඇත්දැයි සැකයක්




ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත්ව ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අඩංගුව තිබූ අහිතකර රසායනික ද්‍රව්‍ය පිළිබඳ මේ වන විට සම්පූර්ණ වාර්තාවක් ලැබී තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණයවී ඇත්තේ අන්තරායකර අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81 ක් එහි තිබී ඇති බවයි. නයිටි්‍රක් අම්ලය සහ කෝස්ටික් සෝඩා වැනි රසායනික ද්‍රව්‍ය ද අඩංගුව තිබූ එම කන්ටේනර් විනාශ වී ඇති බවයි හෙළි කරගෙන ඇත්තේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිණී නීතීඥ දර්ශණී ලහදපුර පැවසුවේ සාගර ජලයට හානිවිය හැකි තවත් අන්තරායකර අපද්‍රව්‍ය අදාළ කන්ටේනර්වල තිබී ඇති බවට හෙළිවී ඇති බවයි.

කෙසේවෙතත් නෞකාවේ තිබී මුහුදු පතුලට කිඳාබැස ඇති කන්ටේනර්වල අභ්‍යන්තරයේ තවදුරටත් විෂ ද්‍රව්‍ය ඇත්දැයි මේ වන තෙක් ප්‍රකාශ කළ නොහැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඉදිරියේදී මෙවන් අනතුරක් සිදුවුවහොත් ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් ද? මේ, වැඩිදුරටත් අදහස් දැක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිණී නීතීඥ දර්ශණී ලහදපුර.

ඉකුත් මැයි මස 24 වනදා ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්ව විනාශ වුණා. නෞකාව හේතුවෙන් අපවිත්‍ර වූ වෙරළ තීරයේ මීටර් 01 ක් දක්වා ගැඹුරට, එනම් වැලි තට්ටු 07 ක් යටට කිදාබැස තිබෙන කුඩා ප්ලාස්ටික් කැබලි මේ වන විට ඉවත් කරමින් සිටිනවා. 

ඒ හේතුවෙන් සිදුව ඇත්තේ මන්නාරම සිට දෙවුන්දර දක්වා වෙරළ තීරය දිනපතා පිරිසිදු කිරීමටයි. එම කටයුතු අවම වශයෙන් තවත් වසරක් හෝ සිදුකළ යුතුව ඇතැයි නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා.