Saturday, May 4, 2024

General line - 0115112241

පාසල්වල අනෙකුත් ශ්‍රේණි ආරම්භ කරන දිනය ගැන තීරණය ලබන සතියේ - සිසුන් ලක්‍ෂ 8 කට කොරෝනා එන්නත




අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතියද අද දිනයේ ඉහළ ශ්‍රේණිවල සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් පාසල් වෙත පැමිණ ඇති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මාස 6 කට අධික කාලයක්  වසා දමා තිබු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ වුණා. පාසල්වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමේ පළමු අදියර ලෙස ළමුන් දෙසියයට අඩු පාසල් ඉකුත්දා ආරම්භ කෙරුණා.

එහි දෙවන අදියර ලෙස සියළු ප්‍රාථමික අංශ ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත්දා පියවර ගත්තේ. ඉහල ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ කෙරුණේ පාසල් යළි ආරම්භ කිරීමේ තුන්වන අදියර ලෙසයි.

කෙසේවෙතත් 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් පාසල්වලට කැදවනු ලබන්නේ කණ්ඩායම් වශයෙන්. ඒ අනුව පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව 20 ට වැඩි නම් කණ්ඩායම් දෙකක් ලෙසට එම සිසුන් පාසලට කැදවිය යුතු වනවා.

පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව 40 ට වැඩි නම් ඔවුන් පාසලට කැදවිය යුත්තේ කණ්ඩායම් තුනක් ලෙසට බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

ඒ අනුව සැලකිය යුතු සිසුන් සංඛ්‍යාවක් අද දිනයේ දකුණු පළාතේ පාසල්වලට පැමිණ තිබූ බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිමල් දිසානායක නෙත් නිවුස් වෙත පැවසුවේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ අමරසිරි පියදාස පැවසුවේ සියයට 60 ක පමණ සිසුන් අද දිනයේ මධ්‍යම පළාතේ පාසල් සදහා පැමිණ ඇති බවයි.

සියයට 70 කට ආසන්න සිසුන් පිරිසක් පාසල් සදහා අද දිනයේ පැමිණ සිටි බවයි ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලය සදහන් කළේ.

මේ අතර 6 සිට 9 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් ලබන සතියේ තීරණයක් ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින්. උපකාරක පන්ති පවත්වන දිනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියා.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්

පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් ඉදිරිපත් කරන ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

නිරෝධායන මධ්‍යස්ථාන සඳහා භාවිත කෙරුණු විද්‍යා පීඨ යළි විවෘත කරන ලෙසට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් මෙහිදී ඉල්ලීමක් ද කළා.