Tuesday, May 7, 2024

General line - 0115112241

සුපිරි ව්‍යාපාරිකයින්ට හා බැංකුවලට අලුතින් බදු - සිගරට් සහ මත්පැන් බදුත් ඉහළට




2022 වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. පස්වරු 02 යි 02 ට ආරම්භ වූ අයවැය කථාව අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මංගල අයවැය කථාවයි. 

පස්වරු 04 යි 37 පමණ වන තුරු පැවැති අයවැය කථාව තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ ක්ෂේත්‍ර නගා සිටුවීම සඳහා වැඩි ඉඩක් වෙන්කර තිබෙනු දැකගත හැකි වුණා. 

අයවැය යෝජනා අතර කැපී පෙනෙන යෝජනාවක් වූයේ රාජ්‍ය අංශයේ වියදම් කප්පාදු කිරීම හා මන්ත්‍රීවරුන්ගේ දීමනා කප්පාදු කිරීමයි. රාජය අංශයේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කරද්දී, මන්ත්‍රීවරයෙකු විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබන කාලය වසර 05 සිට 10 දක්වා වැඩි කිරීම විශේෂත්වයක්. 

කොවිඩ් වංසගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පාසැල් වෑන්රථ, ත්‍රීරෝද රථ සහ පෞද්ගලික බස්රථ හිමියන්ට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ද මෙමගින් සහන සලසා තිබුණා. 

යටිතල පහසුකම් සංවර්ධනයට මුදල් වෙන් කරන ආකාරය ද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙලෙස පැහැදිළි කළා. 

සැම ග්‍රාම සේවා වසමක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ 30 ක් වෙන් කිරීමට ද, මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අයවැය තවත් ලක්ෂ 50 කින් වැඩි කිරීමට ද මෙහිදී යෝජනා කෙරුණා. 

මෙවර අයවැය දෙස වැඩිම අවදානයකින් බලා සිටි කණ්ඩායමක් වූයේ දින 118 ක් පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වූ ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින්. ඔවුන්ගේ ප්‍රශ්නයට අයවැයෙන් ලැබුණේ මෙවන් පිළිතුරක්. 

සිගරට් මත පැනවූ බදු සහ සුරාබදු වැඩි කිරීමට ද අයවැයෙන් යෝජනා කෙරුණා. 

එමෙන්ම රුපියල් මිලියන 2000 කට වැඩි ආදායමක් ලබන පුද්ගලවයින්ගෙන් හෝ ව්‍යාපාරිකයින්ගෙන් එක්වරක් පමණක් අය කෙරෙන සියයට 25 ක බද්දක් ද අයවැය යෝජනා අතරට අයත්. බැංකු සහ මූල්‍ය සේවාවලට ද නව බද්දක් පනවා තිබෙනවා. 

ගර්භණී මව්වරුන්ට ලබාදෙන පෝෂණ මල්ල මාස 24 ක් පුරා ලබාදීමටත්, රාජ්‍ය නිලධාරීන්ට යළි යතුරුපැදි ලබාදීමටත් මෙවර අයවැයෙන් කර ඇති යෝජනා කැපී පෙනෙනවා. 

මේ අතර පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාරධර්ම පද්ධතිය කඩකරමින් උපයන ලද රුපියල් බිලියන 08 යි දශම 5 ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට ද අයවැයෙන් යෝජනා කෙරුණා. අදාළ බදු සහ දඩ අය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා රේගුවේ ඇති නිදහස් කර නොගත් සියලු වාහන නිදහස් කිරීමට ද නියමිතයි. 

මෙවර අයවැයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2,284 ක් වන අතර ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 3,912 ක්. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 1,628 ක් හෙවත් සියයට 8 යි දශම 8 ක්.