Thursday, May 16, 2024

General line - 0115112241

සිරිල් ගාමිණී පියතුමන් තෙවන දිනටත් CIDයට




ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් තුන්වන දිනටත් ප්‍රකාශ ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ, පියතුමන්ට අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශ ලබාගැනීම සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින  හිටපු  පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින්  අද  අධිචෝදනා කියවා භාරදෙනු ලැබුවා. චෝදනා 855 කින් සමන්විත අධිචෝදනා මෙලෙස නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණා. එම නඩුව අද කැදවනු ලැබුවේ  නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

එහිදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර තමන්ට එරෙහිව නගා ඇති චෝදනා වලට නිවැරැදිකරු බව සඳහන් කර තිබෙනවා. මීට අදාළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර ඇති නඩුව අද පස්වරුවේ කැදවීමට නියමිතයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී මිනීමැරුම් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව  නීතිපතිවරයා විසින් කොළඹ  ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.