Friday, May 10, 2024

General line - 0115112241

කතරගම රන් තැටිය අතුරුදන්වීම ගැන දේවාලයේ කපු මහතුන්ගේ දුරකතන දත්ත පරීක්‍ෂාවට




කතරගම දේවාලයට පූජා කර තිබූ රන් තැටිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන කපු මහතා ඇතුළු සෙසු කපු මහතුන්ගේ දුරකතන දත්ත පරීක්‍ෂා කිරීමට තිස්සමහාරාම අධිකරණය, කොළඹ අපරාධ කොට්ඨාශය වෙත අවසර ලබාදී තිබෙනවා. එම රන් තැටිය අතුරුදන්වීමත් සමග විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ඉකුත් ඔක්තෝම්බර් 26 වනදා එන් එම් ජී අජිත් පුෂ්පකුමාර නමැති අයෙකු මෙම අතුරුදන් වූ රන් තැටියට සමාන රන් තැටියක් ගෙනැවිත් කතරගම දේවාලයේ පරිපාලන ලේකම්වරයා වෙත භාරදී තිබුණා. 

මෙම රන් තැටිය 2019 වසරේදී කතරගම දේවාලයට පූජා කර තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ බිරිද විසින්. සිය පුත්‍රයාගේ අපල දුරුවීම සදහා එම රන් තැටිය ඇය කතරගම දේවාලයට පූජා කර තිබුණා. මෙම රන් තැටිය අතුරුදන්වීමත් සමග  ඇයගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාශය ඉකුත්දා ප්‍රකාශ සටහන් කර ගත්තා.

මේ වනවිට එන් එම් අජිත් නමැත්තා කතරගම දේවාලයේ පරිපාලන ලේකම්වරයාට භාරදුන් රන් තැටිය අතුරුදන්ව ඇති රන් තැටියද යන්න පරීක්‍ෂා කිරීම සදහා විමර්ශන ආරම්භ කර තිබෙනවා. එය පරීක්‍ෂා කිරීම සදහා මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ නිලධාරීන් මෙන්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද එහි පැමිණියා. 

අංගොඩ ලොක්කාගේ බිරිද විසින් කතරගම දේවාලයට පූජා කළ රන් තැටිය කැරට් 21 රත්රන්වලින් නිම වූ පවුම් 36 ක බරකින් යුත් එකක් බවයි ලබාදී ඇති වාර්තාවල සටහන් වී ඇත්තේ. කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.