Saturday, April 27, 2024

General line - 0115112241

අදත් ප්‍රදේශ කිහිපයකින් ගෑස් අනතුරු




අදත් ප්‍රදේශ කිහිපයකින් ගෑස් කාන්දුවීමෙන් සිදුවූ ගිනි ගැනීම් සහ පිපිරීම් වාර්තා වුණා. 

ඒ, හලාවත, පාදුක්ක, හංවැල්ල, මාරවිල, හැටන්, ජාඇල හා පොල්ගස්ඕවිට යන ප්‍රදේශවලින්. 

ඒ අනුව මාසයකට ආසන්න කාලයක් තුළ ගෑස් ආශ්‍රිත සිදුවීම් 11 ක් වාර්තා වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ මෙම ගිනි ගැනීම්වලින් කිසිවෙකුටත් ජීවිත හානි සිදුව නොමැති බවයි. 

කෙසේවෙතත් එලෙස ගිනි ගැනීම් ඇති වූයේ ගෑස් කාන්දුවීමකින්ද නැතහොත් පිපිරීමකින් දැයි මේ දක්වා තහවුරු වී නැහැ. 

මෙලෙස ගිනි ගැනීම් ඇති වූ ස්ථානවලට ගෑස් සිලින්ඩර් රැගෙනවිත් ඇත්තේ මෑත දිනවලදී බවද නිවෙස් හිමියන් පැවසුවා.

මේ අතර දිගින් දිගටම වාර්තා වන ගෑස් අනතුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද අදහස් පළ වුණා. 

එහිදී අනාවරණ වූ ප්‍රධාන කරුණක් වූයේ ගෘහස්ථ සිලින්ඩර්වල ඇති ගෑස් සංයුතිය පිළිබද සොයා බැලීමට ශ්‍රී ලංකාව තුළ කිසිදු ක්‍රමවේදයක් නොමැති බව හෙළිවීමයි. 

ගෑස් අනතුරු වාර්තා වු මුල් අවදියේ සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාරිභෝගික අධිකාරියේ හිටපු ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ගෘහස්ථ සිලින්ඩර්වල ගෑස් සංයුතිය වෙනස් කිරීම හේතුවෙන් පිපිරුම් සිදුවන බවයි. 

ගෑස් සංයුතිය සෙවීමේ ක්‍රමයක් රටේ නොමැති බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ එවන් පසුබිමකයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්ද අදහස් පළ කළා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සංවාදයට එක් වූ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට මැදිහත් වුණා.

පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සදහන් කළේ ගෑස් සංයුතිය සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශවලින් ලබාගත් නියැදි සාම්පල් මේ වනවිට විශේෂ පරීක්‍ෂාවකට ලක්කරමින් ඇති බවයි. එහි වාර්තාව අද දිනයේදී ලැබෙනු ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.