Saturday, May 18, 2024

General line - 0115112241

ඩොලර් ගේන අයට මහ බැංකුවෙන් බෝනස් එකක්




ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවල සිට එවන එක් ඩොලරයක් සදහා රුපියල් දහයක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය යටතේ දැනටමත් අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 2 ක දිරි දීමනාවක් ලබාදෙනවා. 

ඊට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ ප්‍රේෂණය කර, දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කරන ඩොලරයකට රුපියල් 8 ක අමතර දිරි දීමනාවක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් නෙත් නිවුස් හරහා ඉකුත් සමයේ පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවල සිට මෙරටට මුදල් එවීමේ අඩුවක් ඇති බවයි. මුදල් අමාත්‍යාංශයද පසුව එය තහවුරු කළා. එලෙස මුදල් එවීම අඩුවීම මෙරට ආර්ථිකයටද දැඩි බලපෑමක් කර තිබෙනවා. 

එලෙස මුදල් එවීම අඩුවීමට ප්‍රධාන හේතුව වූයේ නීිතිවිරෝධි ක්‍රම ඔස්සේ මෙරටට එවන ඩොලර් සදහා මෙරට කළුකඩ වෙළදපොළේදී ඉහළ වටිනාමක් හිමිවීමයි. මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ ඩොලර් කළුකඩ මාෆියාව වැළැක්වීම සදහා කඩිනමින් පියවර ගන්නා බවයි. 

කෙසේවෙතත් අලුතින් හදුන්වාදී ඇති අතිරේක දිරිගැන්වීම් හේතුවෙන් විධිමත් බැංකුකරණ මාර්ග ඔස්සේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ආකර්ෂණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරනවා.  එමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇති බවටයි අපේක්‍ෂා කෙරෙන්නේ.

එමෙන්ම, අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමග එක්ව පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසනවා.