Sunday, May 19, 2024

General line - 0115112241

අමෙරිකාවට සහය පළ කරමින් ඕස්ට්‍රේලියාවත් බීජිං ඔලිම්පික් උළෙල එපා කියයි




චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2022 සීත ඍතු ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වර්ජනය කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

ඒ බව ප්‍රකාශයට පත් කරමින්  ඕස්ට්‍රේලියාව පැවසුවේ සීත ඍතු ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වර්ජනය කිරීම සඳහා තමන් ද අමෙරිකාව සමග එක්වන බවයි.

චීනයේ පැවැත්වෙන එළඹෙන සීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කරන බව ඊයේ අමෙරිකාව ද ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ චීනයේ ෂින්ජියැන්ග් පළාතේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ තවත් ගැටළුකාරී තත්ත්වයන් කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් සීත ඍතු ඔලිම්පික් උළෙළ සඳහා සහභාගී වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

සීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට ගත් තීරණය පුදුමයට කරුණක් නොවන බවත්,  ඕස්ට්‍රේලියාව සිදුකරන්නේ නිවැරදි ක්‍රියාව බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

සබඳතා වර්ධනය කිරීමට ඇති අවස්ථා චීනය ප්‍රතික්ෂේප කරන බවටයි ඔස්ටේ්‍රලියාව චෝදනා නගන්නේ.

මේ අතර චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2022 සීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බලමින් සිටින බව කැනඩාව සහ ජපානය ද ප්‍රකාශ කර තිබෙනවා.

නවසීලන්තය පැවසුවේ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ සැලකිල්ලට ගනිමින් චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2022 සීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා සිය නිලධාරීන් සහභාගී නොකරන බවයි.