Sunday, May 19, 2024

General line - 0115112241

71 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාවේ 1,768 දෙනෙකුට උසස් වීම්




අදට යෙදී ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව නාවික පුද්ගලයින් 1,768 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.

ඒ, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නිර්දේශය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

නිලධාරින් 84 දෙනෙකු සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1684 දෙනෙකු අද උසස් වීම ලැබූ පිරිසට අයත්.

නාවික හමුදවේ, 71 වන සංවත්සරය ආගමික කටයුතුවලට මුල් තැන දෙමින් සැමරීමට කටයුතු යොදා තිබෙනවා.

කංචුක පූජාව සහ නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය පැවැත්වුණේ අනුරාධපුර රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදීයි.

දළදා සමිදුන් උදෙසා බුද්ධ පුජාවන් සහ භික්ෂූන් වහන්සේ උදෙස් දානමය පුණ්‍ය කර්මයක්ද සංවිධාන කර තිබෙනවා. මෙම ආගමික වැඩසටහන් මාලාවේ ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේ ද, හින්දු දේව මෙහෙය කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු දේවස්ථානයේදී ද, මුස්ලිම් දේව මෙහෙය කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ද, පැවැත්වුණා.

71වන සංවත්සරයට සමගාමීව අද සහ හෙට දිනයන්හි ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාල නෞකා නැංගුරම්ලා තබා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික බලය පොදු මහ ජනතාවට දැකබලා ගැනීමට සලස්වා ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.