Sunday, May 19, 2024

General line - 0115112241

පළාත් පාලන ඡන්දයට සූදානමින් සිටින බව මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට දැනුම් දෙයි




පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු 20 වනදායින් අවසන්වීමට නියමිත බැවින් එම ඡන්දය පැවැත්වීම සදහා සූදානම් වෙමින් සිටින බව මැතිවරණ කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මේ බව කියාසිටියේ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හදුනාගැනීමට සහ ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ රැස් වූ අවස්ථාවේදීයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මාස 4 කට පමණ පෙර ඊට සූදානම්වීම අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී සදහන් කර තිබෙනවා.

ඒ අනුව වෙනසක් නොමැතිව පවතින නීතිමය තත්ත්වය යටතේම පළාත් පාලන ඡන්ද පැවැත්වෙන්නේ නම් ලබන වසරේ ජනවාරි මාසයේදී පමණ එම ඡන්දය සදහා දින ප්‍රකාශ කිරීමට සිදුවන බවද මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.