Sunday, May 19, 2024

General line - 0115112241

නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දීමක් 




ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන චෝදනාවලට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මුදා හරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ඇප අයැදුම් පෙත්සමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. 

ඒ, එම පෙත්සම මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කියාසිටියේ සිය සේවාදායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණයේ නඩු පවරා ඇති බවයි. ඒ අනුව සිය සේවාදායකයා ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එහිදී ඉල්ලා සිටියා. 

කෙසේවෙතත් එම ඇප ඉල්ලීමට විරුද්ධ වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා එහිදී පැවසූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සදහන් කළේ. ඒ අනුව අදාළ විරෝධතා ජනවාරි මස 13 දාට පෙර ගොනු කරන ලෙසට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. 

එම පෙත්සම ජනවාරි මස 18 වනදා යළි සලකා බැලීමට නියමිතයි. හිජාස් හිස්බුල්ලා පුත්තලම ප්‍රදේශයේ ඇති අල් සුහාරියා මද්‍රසා පාසල හරහා අන්තවාදී ඉගැන්වීම් සිදු කර ඇති බවටයි නීතිපතිවරයා චෝදනා කර තිබුණේ.