Monday, May 20, 2024

General line - 0115112241

දියර පොහොර කෑන් අදත් පුපුරයි

චින්තක බාලසූරිය / කාංචන කුමාර ආරියදාස




කාබනික දියර පොහොර කෑන් පුපුරායාමේ සිද්ධීන් දෙකක් ඇළහැර - බකමූණ අතර ගල්ලෑව ගොවිජනවල ප්‍රදේශයෙන් සහ ගලෙන්බිදුනුවැව ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. 

ඇළහැර - බකමූණ අතර ගල්ලෑව ගොවිජනවල ප්‍රදේශයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් කාබනික දියර පොහොර කෑන් පුපුරා දැඩි දුර්ගන්ධයක් හැමූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

ගොවීන් පවසන්නේ ගබඩාවක ගබඩා කර තිබූ දියර පොහොර කෑන් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි. පවතින තත්ත්වය හමුවේ දියර පොහොර කෑන් නිවසක තබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. ගබඩා කර ඇති සෙසු දියර පොහොර කෑන් ද පුපරායාමට ආසන්නවී තිබෙනවා. 

මෙම දියර පොහොර දේශීය ආයතනයකින් නිෂ්පාදනය කර රජයට ලබාදී ඇති අතර ගොවීන්ට ඒවා නොමිලේ ලබා දෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින්. මෙම දියර පොහොර කෑන් පුපුරායාම පිළිබඳව එහි ඇසරුම්වල සටහන්ව ඇති දුරකතන අංකවලට ඇමතුම් ලබාගත්තද ඊට කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නොලැබෙන බවයි ගොවීන් චෝදනා කරන්නේ.

මේ අතර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගබඩා කර තිබූ දියර පොහොර කෑන්ද පුපුරා යාමේ සිද්ධියක් අද වාර්තා වුණා. මෙම තත්ත්වය මත තමන් දියර පොහොර කෑන් ප්‍රතික්ෂේප කර ඇති බවයි ගොවීන් පැවසුවේ.

මේ අතර රාජාංගනය - දිරිය ගොවිජන පෙරමුණ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ තමන්ට මෙතෙක් කිසිඳු පොහොර වර්ගයක් ලැබී නොමැති බවයි.