Monday, May 20, 2024

General line - 0115112241

DIGලා හයකට ස්ථාන මාරු




නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහජන ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතාවය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී  ඇති බවයි.

ඒ අනුව, නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති වී. ජී. ඩී. ඒ. කරුණාරත්න අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති එස්. ඩබ්. එම්. සේනාරත්න නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස් තනතුරේ සිට මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් ස්ථාන මාරු කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති ඊ. එම්. යූ. වී. ගුණරත්න ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරි ආවරණය සඳහා ද පත්කරනු ලැබූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

කිළිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ජේ. එස්. වීරසේකර රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස්. පී. රණසිංහ පොලිස් මූලස්ථානයේ සිට නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත්කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළා.
අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව කිලිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර තිබෙනවා.